අභිනව ජනාධිපතිතුමනි ශ්‍රී ලංකාවේ සංචාරයට කැමැති ලෝ වැසියන්ට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කරන්න

0
24

“ඔබට පැමිණිය නොහැකි නම් ඔබේ ඥාති හිතමිතුරන්ට මේ බව කියන්නැයිද ඔබ මෙහි එනතුරු ශ්‍රී  ලාංකේය සංචාරක ක්‍ෂේත්‍රයේ මිලියනයක් ජනතාව සුපුරුදු සංග්‍රහශීලී මිත්‍රශීලී සේවාව ලබාදීමට බලා සිටින්නේ” යැයිද එම කතාවේදී පවසන්නැයිද නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ උප සභාපති රංජිත් සුදසිංහ ‘මව්බිම’ට (19දා) දින පැවැසීය.

අභිනවයෙන් ජනාධිපති තනතුරට පත්වූ පසු දිවුරුම්දී ජාතිය අමතන මුල් අවස්ථාවේදීම ‘ලොව දස දෙස සිටින සංචාරයට රුචි සියලු දෙනාට මේ සුන්දර දිවයින දැක බලා ගැනීමට පැමිණෙන්නැයි’ ඉල්ලා සිටින ලෙස සංචාරක රියැදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය අද (20දා) පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්දයෙන් ජයගන්නා අපේක්ෂකයාගෙන් ඉල්ලා සිටියි.

පසුගිය දිනවල දිගටම මාධ්‍ය මඟින් ලොවට දකින්නට ලැබුණේ මෙරට ගැටුම් දූෂණ වංචා හා අරාජිකත්වය පමණකැයිද, මේ දිනවල ග්‍රීස්ම නිවාඩුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් පමණක් නොව ඉදිරි ශීත ඍතු නිවාඩුවට පැමිණීමට බලාපොරොත්තුවෙන් කළ වෙන්කිරීම්ද අවලංගු කර ඇතැයි සුදසිංහ මහතා කීය.

සංචාරක ක්‍ෂේත්‍රයේ රැකියාවලින් ජීවත්වන මිලියනයක් පමණ වූ ජනතාවට මෙන්ම රටේ විනිමය ඉපැයීම්වලටද මේ තත්ත්වය යටතේ මරු පහරක් වැදී ඇති බැවින් පළමු කතාවෙන් මේ ඇරයුම කරන්නට නව ජනපතිවරයාට හැකි නම් එය ලොව පුරා ප්‍රචාරය වනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

විනීතා එම්. ගමගේ