අට වැනි විධායක ජනාධිපති

0
111

ශ්‍රී  ලංකාවේ විධායක ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද විධායකයේ ප්‍රධානියාද සන්නද්ධ සේවාවන්හි සේනාධිපතිවරයාද වෙයි. ඔහුගේ ධුර කාලය අවසන් වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලය අතරතුරදී ජනාධිපතිවරණය පවත්වා ඊළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතුව ඇත. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියමයයි.

ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කළ හැකි වන්නේ දෝෂාභියෝග යෝජනාවක් ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් සම්මත විමෙන් පමණි. 78 ව්‍යවස්ථාවේ 38 (2) වගන්තියේ මෙම ක්‍රියාදාමය සම්බන්ධව ක්‍රියාපටිපාටිය ඇතුළත්ව ඇතත් වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය තුළ එවැන්නක් සම්මත කර ගැනීම පහසු කාර්යයක් නොවේ. මෑතකදී සිදුවූයේ දෝෂාභියෝගය අභිභවා ජනතාභියෝගය ප්‍රබල වී විධායක ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී යන තැනට කටයුතු සැලසීමයි. මහජන ඡන්දය වෙනුවට මහජන නියෝජිත ඡන්දය මඟින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාපටිපාටිය ඊයේ පාර්ලිමේන්තුව තුළ ප්‍රථම වරට අත්හදා බැලිණි. 1993 වර්ෂයේ මෙවැනි තත්ත්වයක් උදාවුවද එම අවස්ථාවේ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය සාධක පැන නැඟුණේ නැත.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් විධායක ජනපති තනතුරට ව්‍යවස්ථාපිතව පත්වන ජේ.ආර්. ජයවර්ධන 1982 ප්‍රථම ජනාධිපතිවරණයට මුහුණ දී බලයෙහි සිටී. එයින් අනතුරුව 1988 දෙවැනි ජනාධිපතිවරණයෙන් ආර්. ප්‍රේමදාසද 1994 _ 1999 යන අවස්ථා දෙකෙහි ජනාධිපතිවරණවලින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද එයින් පසු 2005, 2010 යන ජනාධිපතිවරණ දෙකින්ම මහින්ද රාජපක්ෂ, 2015 හත්වැනි ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේනද ජනපති ධුරයට පත්වෙයි. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජයගනී. විධායක ක්‍රමය තුළ  පවත්නා විවිධ වූ දෝෂසහගත තත්ත්වයන් ගැන මේ හැම ජනාධිපතිවරයකුම විවිධ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නට ප්‍රතිඥා දුන් බව රහසක් නොවේ. එහෙත් 2019 බලයට පත්වූ ගෝඨාභය කළේ ඊට පෙර 19 වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක්කොට තිබූ යම් යම් සාධනීය යෝජනා හකුළුවාගෙන විසි වැනි සංශෝධනය වහා සම්මත කරගැනීමය. මේ රටේ දිගින් දිගටම සිදු වූයේ විධායක බලයේ අහිතකර මුහුණුවර තවදුරටත් තහවුරු කිරීමෙන් ව්‍යවස්ථා අර්බුදය වඩාත් බරපතළ තැනට කරුණු සකසා ගැනීමය.

1978 විධායක ජනාධිපති තනතුර බිහිකිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ විදේශ විගමනය දක්වා ජනාධිපති ධුරයේ වැඩ බැලීමක් සිදුවූයේ නැත. වැඩබලන ජනාධිපති හැටියට අගමැති රනිල් කටයුතු කරන්නේද මුල්වරටය. දැන් ඒ වැඩබලන ජනාධිපති ඊයේ සිට මේ රටේ විධායක අනුප්‍රාප්තික ජනාධිපතිය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම අස්සනින් යුතුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ලිපියක් එවා ඉල්ලා අස්වුණු බැවින් ඇති වූ පුරප්පාඩුවට තෝරා ගන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. එය සිදු කෙරෙන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙනි.

වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන විවිධ තර්ක විතර්ක විවේචන පවතී. ස්වාධීන වීම් හා පක්ෂය හැරයෑම් වැනි විවිධ ක්‍රියාමාර්ග සිදුවී ඇති නමුත් තවමත් වැඩි පිරිස ආණ්ඩු බලය හිමි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරති. එහිදී ක්‍රියාකාරකම් හා තීරණ පරස්පරතා පෙන්වයි. සභාපති එක් තීරණයකි. ලේකම් තව තීරණයකි. විපක්ෂ නායක වුවද වරින් වර විවිධ තීරණවලට එළැඹෙයි. විපක්ෂයෙහි බෙදීමකි. රනිල් වික්‍රමසිංහ ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩලස් අලහප්පෙරුමට වඩා ඡන්ද 52ක් ලබා ගනිමින් 8 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වන්නේ ඉහත සඳහන් කළ ආකාරයේ විකෘති තත්ත්වයක් නිරූපිත ඡන්ද විමසීමකින්ය. මෙම ජයග්‍රහණය කිසිසේත්ම ජනතා පරමාධිපත්‍යය තහවුරු වීමක් විය නොහැකිය.

පුරවැසියා ඡන්දය පාවිච්චි කිරීමත් මහජන නියෝජිතයා ඡන්දය පාවිච්චි කිරීමත් පරස්පරතා පෙන්වයි. පාර්ලිමේන්තුවේ පැවැතුණේ රහස් ඡන්දයක් බැවින් කවුරු කාට ඡන්දය දුන්නා දැයි පුරවැසියා දන්නේ නැත. එහෙත් පුරවැසියා ඡන්ද දායකයා බවට පත්වන බොහෝ අවස්ථාවල රටේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව රහසක් නොවේ. පසුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට මහජන ඡන්දයෙන් එකම ආසනයක් හෝ හිමිවන්නේ නැත. රනිල් වික්‍රමසිංහට ජාතික ලැයිස්තුවෙන් අසුනක් හිමිකරගන්නට සිදුවන්නේ ඒ නිසාය. එයද ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුවය.

ලොව වෙනත් රටවලද ජනතමතය කාලීන අර්බුද සමඟ ප්‍රතිබද්ධව ක්‍රියා කළ හැටි ඉතිහාසය පෙන්වයි. දෙවැනි ලෝක යුද්ධයේදී එංගලන්තයට ජයග්‍රහණය උදාකර දෙන්නට නායකත්වය දුන් සුවිශේෂී නායකයා වූ සර් වින්ස්ටන් චර්චිල් 1945දී පරාජයට පත්කර කම්කරු පක්ෂ නායක ක්ලේමන් ඇට්ලි අගමැතිකමට තෝරාපත් කර ගනී. ජනතාව ඒ වෙනස ඉල්ලා සිටියේ රටේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟන්නටය. අප රටේ සිදුවූයේ එවැන්නක් දැයි තවම හරියට කියන්නට පුළුවන්කමක් නැත.

ජනපති සටනට තරග වැදුණු ඩලස් ඡන්ද 82ක් හිමිකරගෙන තිබිණි. විපක්ෂ නායක එකඟතාව ඇතිව ඔහු යම් සහයෝගිතා අපේක්ෂාවක් ඇති කරගෙන සිටියේය. පාර්ලිමේන්තුවෙහි යම් ආකෘතික වෙනසකට ඔහු මුල පුරා තිබීම අගය කළයුතුය. අනුර කුමාර දිසානායකගේ තරග වැදීමද රටේ දේශපාලනික ගමන්මඟ කෙසේ විය යුතු දැයි පැහැදිලි කරගත යුතු ප්‍රවේශයකි. මේ සටහන අවසන් කරන්නට පෙර කිවයුත්තකි.

රටේ ආර්ථිකයත්, සමාජයත්, දේශපාලනයත්, අධ්‍යාපනයත්,  සංස්කෘතියත් යන සියලු ක්‍ෂේත්‍ර කඩා වැටී තිබේ. අරගලය ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇතත් තවත් බොහෝ දේ ඉදිරියටය. රටම එපා වී නොයන තැනට තරුණ පරපුර පෙළගැස්විය යුතුමය. සියල්ලට පළමු ජනතාවට හුස්ම ගන්නට ඉඩ හසර සකසා දිය යුතුව තිබේ. ජනාධිපති අනුප්‍රාප්තිය රටට වැදගත් වනුයේ හෙට දවස වෙනුවෙන් අද ඔහු හැසිරෙන ආකාරය අනුවය.