BREAKING NEWS: ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු රනිල් පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය

0
164

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ අද (ජූලි 20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ තමන් වසර 45ක් පාර්ලිමේන්තුවේ කාලය ගත කර ඇති බව ත් තමන්ගේ ජීවිතය තිබුණේ පාර්ලිමේන්තුවේ බව ත් ය.

එබැවින් පාර්ලිමේන්තුවෙන් තමන්ට මෙම ගෞරවය ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බව ඔහු එහිදී පැවසීය.

තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට ද නව ජනාධිපතිවරයා ස්තූති කළේ ය.

“රටේ තරුණ තරුණියන් අද ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පැටලෙන්නේ නැතුව අපිට යන්න තියෙන්නේ. ඉදිරියට යන්න. අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙවෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩකටයුත්ත කරන එකයි. ඉතින් මම විශේෂයෙන් ම ඉල්ලා සිටිනවා, මම එක්ක තරග කරපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාට ත්, අනුර දිසානායක මන්ත්‍රීතුමාට ත් මම ස්තුතිවන්ත වෙනවා, මම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රී තුමාගෙන් ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගේන්න වැඩ කටයුතු කරමු කියලා.

මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකටත් එතුමාගෙනුත් ඒ වගේ ම ඉල්ලීමක් කරනවා. මම කැමතියි මගේ මිත්‍ර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ත් ඒ සියලු දෙනාගෙන් ම මේ ඉල්ලීම කරන්න. අද අපි ඔක්කොම එකට එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේ ම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනා ගෙන්මත් ඒ ඉල්ලීම මම කරනවා. අපේ පොන්නම්බලම් මන්ත්‍රීතුමාත් විග්නේශ්වරන් මන්ත්‍රීතුමාගෙනුත් ඒ ඉල්ලීම කරන්න තියෙනවා. අපි ඔක්කොම එකතු වෙන්න කියලා. ඒ වගේ ම මට තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් ඒ පක්ෂය වෙනුවෙන් ඒ ඉල්ලීම කරන්න. ඒ වගේ ම මෙතන සිටින අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙනුත් ඒ ඉල්ලීම මම කරනවා. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. අපිට පැය 48ක් තිබුණා බෙදෙන්න. අපි පැය 48 බෙදුණා. දැන් මම ඉල්ලනවා, සියලු දෙනාගෙන් ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න හෙට ඉඳන් මම කැමතියි ඔබ සියලු දෙනා එක්ක ම සාකච්ඡා කරන්න.”

වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශය අවසන් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට ඉඩ ලබා දෙන ලෙස ය.