රනිල් ද? අනුර ද? ඩලස් ද?: පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරන ඉතිහාසයේ පළමු ඡන්දය අදයි

0
146

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පළමු ඡන්ද විමසීම අද (ජූලි 20) පැවැත්වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වීම නිසා මෙම ඡන්ද විමසීම පැවැත්වේ.

ඒ අනුව, වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඊයේ (ජූලි 19) පාර්ලිමේන්තුවට යෝජනා විය.

සභානායක දිනේෂ් ගුණවර්ධන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින් එය ස්ථීර කරනු ලැබීය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කරනු ලැබූ විට එය ස්ථීර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා විසිනි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය විසින් එය ස්ථීර කරනු ලැබීය.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ නාමයෝජනා භාර ගැනීම සඳහා ඊයේ රැස් වූ පාර්ලිමේන්තුව විනාඩි දහයකට සීමා වූ අතර යෝජනා වූ නම් තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළේ ය.

ඉන්පසු සභානායක දිනේෂ් ගුණවර්ධන අද (ජූලි 20) පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවේ ය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වෙන අතර එහිදී ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තබයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරන මෙම ඡන්ද විමසීමේදී කතානායකවරයාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වෙයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කතානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසන අතර එවිට එම මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි.

එවිට එම මන්ත්‍රීවරයා ඉදිරියේදී ම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අස්සන යොදන අතර ඉන්පසු මන්ත්‍රීවරයා සභාගැබේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කර තේරීම්භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතු ය.

එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි ”1” යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කරයි.

අපේක්ෂකයන් කිහිප දෙනෙකු සිටින විට මනාප සලකුණු කිරීමට ද අවස්ථාව ඇති අතර ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාප අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකි ය.

නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදීද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටියහොත් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටියා ලෙස සැලකේ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කළ මනාප සංඛ්‍යාව ගණන් කෙරෙන අතර ඡන්දය ගණන් කරන ස්ථානයට යම් අපේක්ෂකයෙකුට හෝ ඔහුගේ නියෝජිත මන්ත්‍රීවරයෙකුට යා හැකිය.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා තැනැත්තා ජනාධිපති ධූරයට තෝරාගැනෙන අතර එසේ දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසි ම අපේක්ෂකයෙකු නොගත් විට අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කර එම අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයාගේ දෙවන මනාපය අදාළ අපේක්ෂකයාට එකතු කරයි.

එසේ කොටත් කිසි ම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවන, තෙවන යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කරයි.

එසේ කොටත් කිසි ම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි මනාප ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධූරයට තෝරා පත් කර ගත් බව තේරීම්භාර නිලධාරියා ප්‍රකාශයට පත් කරයි.

එසේ ම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම්භාර නිලධාරියාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදුවේ.

එසේ ම, ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහ ලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

ඒ අනුව, අද (ජූලි 20) පත්වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරාගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ය.

  • බිඟුන් මේනක ගමගේ, අනුරාධා හේරත්