“අපි ඉදිරිපත් කළේ ඩලස්, එයා පැරදුණා”: මහින්ද රාජපක්ෂ කියයි (VIDEO)

0
377

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (ජූලි 20) මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.

එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කළේ, තම පක්ෂය ඩලස් අලහප්පෙරුම ඒ සඳහා ඉදිරිපත් කළ බව ත් ඔහු පරාජය වුණු බව ත් ය.

“අපි ඉදිරිපත් කළා ඩලස්ව. අපි ඡන්දය දුන්නා. පැරදුණා ඉතින්. කවුරු හරි දිනන්න එපැයි. දිනන අය දින්නා. පරදින අය පැරදුණා.”

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තේරී පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“ඔහුට ඡන්ද වැඩියෙන් හම්බ වුණා, එයා ජනාධිපති වුණා. ඒක තමයි වුණේ.”

තමන් රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළේ ද? යන්න සම්බන්ධයෙන් එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විමසූ විට රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ, “නෑ එහෙමමත් නැහැ,” යනුවෙනි.

“අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. කොයි ආණ්ඩුව වුණත් රටේ ජනතාවට එපැයි වැඩ කරන්න. ජනතාවට වැඩ කරන ආණ්ඩුවක් ආවා ම අපි බලාගෙන ඉන්නවා.”

ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ගේ පාර්ශ්වයෙන් මැදිහත්වීමක් වනවා ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් හිටපු අගමැතිවරයා මෙසේ පැවසීය.

“නෑ අපේ එහෙම තීන්දුවක් අරගෙන නැහැ පක්ෂයේ. පක්ෂය ගන්න තීන්දුවලට මම එකඟයි. අපේ පක්ෂය ගන්න තීන්දු එක්ක තමයි මම වැඩ කරන්නේ.”

ගාලු මුවදොර මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය.

“එක එක මත තියෙනවා නේ. එයාලා කියන්නේ ඒක තමයි ජන මතය කියලා. අපි කියන්නේ ඒක නෙවෙයි කියලා. ඒ මත දෙක ම තියෙනවා…

…දැන් ඉතින් අරගලය කරා ඇති කියලයි මං හිතන්නේ. ගාලු මුවදොර අරගලය කරන තරුණයින් දැන් තේරුම් ගන්න ඕනේ එළියට ගිහිල්ලා වැඩ කරන්න.”