eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Tele-Channelling සේවාව හඳුන්වාදෙයි

0
33

ශ්‍රී  ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමඟින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

ඉහළම ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් ශ්‍රී  ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීමට eChannelling සෑම විටම උත්සාහ දරයි. එහි තවත් පියවරක් වශයෙන්, නවීනතම තාක්ෂණය භාවිත කරමින් රෝගීන්ට දුරස්ථව හා පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ලබාදීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දෙන ලදී. තවද, මෙය වාර්තමානය තත්ත්වය අවබෝධ කර ගනිමින් eChannelling විසින් ගන්න ලද වඩාත් කලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවැති සමයේදී බොහෝ දෙනකුට ටෙලි මෙඩිසින් සේවාවන් මහඟු අත්වැලක් බවට පත්විය. එහිදී  දෘශ්‍ය පහසුකම් ඔස්සේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාදෙමින්, රෝගීන්ගේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින්, රටේ යහපත වෙනුවෙන් eChannelling සුවිශේෂී මෙහෙවරක් ඉටුකළේය.

COVID-19 අවදානම තරමක් දුරට පහව යෑමෙන් අනතුරුව මේ ආකාරයට eChannelling App ඔස්සේ වීඩියෝ මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් දියත් කිරීමට eChannelling පියවර ගෙන තිබේ. මෙමඟින් රෝගීන්ට වීඩියෝ ඇමැතුමක් මාර්ගයෙන්, ලියාපදිංචි වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාගැනීමට අවස්ථාව හිමි වී ඇත.

මෙම ටෙලි චැනලින් සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොහොතක, ඒ මොහොතේ online සිටින ඕනෑම වෛද්‍යවරයකු සමඟ සජීවීව සම්බන්ධ වීමට මෙන්ම, අවශ්‍ය නම් කල්තබා වේලාව වෙන්කරගෙන විශේෂ වෛද්‍යවරයකු වෙතින් උපදෙස් ලබාගැනීමටද හැකියාව ලැබේ. මෙම සේවාව සමඟ සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් වෙතින් මේ ආකාරයට දුරස්ථව උපදෙස් ලබාගත හැකිය.

රෝගියකු කිසියම් වෛද්‍යවරයකු හමුවීමට අවස්ථාව වෙන්කරවා ගත් විට ඒ බව අදාළ වෛද්‍යවරයාට SMS පණිවුඩයක් මඟින් දැනුම්දීම සිදුකෙරේ. ඉන් අනතුරුව දෙපාර්ශ්වයටම පහසු වන ආකාරයට වෛද්‍යවරයා විසින් වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් අදාළ රෝගියා හා සම්බන්ධ වනු ඇත. මෙමඟින් ඕනෑම මොහොතක, මෙරට මෙන්ම විදේශ රටවල සිටින රෝගීන්ටද උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

අදාළ වීඩියෝ ඇමතුමට පැය දෙකකට පෙර සහ ඇමතුමෙන් පැය 24ක් ඇතුළත  වෛද්‍යවරයා සමඟ චැට් මාර්ගයෙන් සම්බන්ධ වීමටද රෝගීන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සේවාව ඔස්සේ වෛද්‍ය වාර්තා සහ, මීට පෙර නිකුත් කරන ලද ඔෟෂධ නිර්දේශයන් වෛද්‍යවරයාට පෙන්වීමටද හැකියාව ලැබේ. වෙන්කරගත් වේලාවේදී වෛද්‍යවරයා අදාළ රෝගියා අවසන්වරට ලොග් වූ උපාංගයට ඇමතුමක් ලබාගනු ඇති අතර, රෝගියා පරීක්ෂා කර උපදෙස් ලබාදී අවසන් වනතුරු සැසිය ක්‍රියාත්මක වනු ඇත.