CIDය අධිකරණයට කරුණු වාර්තා කරයි

0
15

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන නොයෙක් පළකිරීම් හෝ දැන්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ ඊයේ (19දා) කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම විමර්ශනය ආරම්භ කරන ලෙසට කරන ලද නියෝගය මත මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙවැනි තර්ජනාත්මක දැන්වීම් සකසන්නන්, හුවමාරු කරන්නන්, එවැනි දැන්වීම් පළ කරන්නන් හා ප්‍රචාරය කරන්නන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ගිණුම්වල හිමිකරුවන් මෙන්ම එවැනි දැන්වීම් හා පෝස්ට් සඳහා කැමැත්ත පළ කරන්නන් පිළිබඳවද විමර්ශනයන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

හංසි නානායක්කාර