551 වැනි ජාතකය හෙවත් ඉදිරි දැක්ම වැලඳ ගැනීම

0
26

මෙරට සිවිල් සේවාවේ නිරතව සිටි පුද්ගලයන් විසින් තම සේවා කාලයෙන් පසු රචනා කරන ලද කෘති බොහොමයක් අරබයා එක් ප්‍රධාන ප්‍රශ්නයක් මතු කළ හැකි වේ. එකී ප්‍රධාන ප්‍රශ්නයේ පැති ගණනාවක් වන බැවින් නිශ්චිතව ප්‍රශ්නය මතු කිරීමට වඩා පුළුල් පරාසයක සාකච්ඡාවට භාජන කිරීම යහපත් වන්නේය.

මෙතැනදී ප්‍රථමයෙන් සිහියට නැඟෙන්නේ ගිහින් එන්න යැයි ප්‍රබන්ධයක් ඉදිරිපත් කර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය සිවිල් සේවාවේ නියුතුව සිටි එස්. සිරි සේනානායක මහතාය. ඒ මහතාගේ ක්‍රියාකලාපය කවරේදැයි පසුව ලියමි.

1963 – 1966 දක්වා යාපනයේ දිසාපතිව සිටි, ඊට පෙර විවිධ තනතුරු දරමින් සිටියා වූ නෙවිල් ජයවීර විසින් ලියන ලදුව සේපාල විජේසේකර විසින් සිංහලට නැඟූ “යාපනය අමිහිරි අතීතය දුරලීම සහ ඉදිරි දැක්ම වැලඳ ගැනීම” නම් කෘතිය පිළිබඳව සඳහන් කිරීමේදී සිහිපත් වන්නේ “පය බරවායට පිටිකර බොහෙත් බඳින” සහ එසේ බැඳීමට සමත් ගොඩ වෙදුන්ගෙන් අප රටට කිසිදු හිඟයක් නොමැති බවයි.

‘රාවය’ ප්‍රකාශකයන් විසින් පරිවර්තනය කරවනු ලැබූ මෙය වහාම කියවා තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් පීඩාවට පත් අසරණ ජනතාව විසින් ඉදිරි දැක්ම වැලඳ ගත යුතු ද? නැතහොත් එදා සිට මෙදා දක්වාම බලයේ සිටින දේශපාලන මජරයන් විසින් මෙය කෙදිනක හෝ කියවා ඉදිරි දැක්ම වැලඳ ගන්නා ආකාරය ජනතාවට පහදා දෙන තුරු ඉවසා සිටිය යුතුද?

ඇත්ත වශයෙන්ම මේවා බණ පොත්ය. නැතහොත් ජාතක පොත්ය. ඒවා තම තමුන් කියවන සිරිතක් බහුල නැත. පෝයදාට සිල්ගත් වයසක අය අතරේ එක් අයෙක් බණ හෝ ජාතක පොත කියවයි. සිල්ගත් උදවිය එය අසා සිටිති. අසා නොසිටින අයත් ඇත. ඇසුවත්, නැතත් සිල් පවාරණ කර ගෙදර ගිය පසු සියල්ල අහවරය. මේවාත් එලෙසය. මේවා කියවන්නේ නැතහොත් සාකච්ඡාවට ගැනෙන්නේ ලොකු හෝටලවලය. පහසුකම් සැපයෙන්නේ බොහෝවිට විදේශ ආයතනයක් මඟිනි. ආරාධිතයන් අතර ජනවාර්ගික අර්බුදය පිළිබඳ ප්‍රාමාණිකයෝද විද්වත්හුද, නේක සංවිධානවල නියෝජිතවරුද, ජනමාධ්‍යවේදියෝද, ඇතැම් විට කිසියම් විකල්ප දේශපාලන පක්ෂ සාමාජිකයෝද වෙති. සාකච්ඡා කෙරෙන්නේම බර සාර වචනවලිනි. අනගි වේලක්ද, ඉස්තරම් දීවා ආහාර වේලක්. සවස තේ සමඟ ගමන් වියදම අඩංගු ලිපි කවරයක්, ඉංගී්‍රසි සහ සිංහල (ඇතැම් විට දෙමළෙන්) ලිපි ලේඛන ස්වල්පය ලැබීම අනිවාර්ය වේ. මෙබඳු වර්ගයේ සාකච්ඡා බොහෝවකට මටද ආරාධනා ලැබුණා. නමුත් එකකට සහභාගි වීමෙන් ඇතිවූ “හිරිකිතය” නිසා පසුව එබඳු ඒවාට සහභාගි නොවන්නේ මැයි තීරණය කළෙමි.

මෙලෙස පැවැත් වූ දස දහස් සංඛ්‍යාත, වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ, සමුළු ආදිය මඟින් ලත් එකම ප්‍රයෝජනය නම් ඒ.ඒ. සංවිධානවල න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වූ බවට හරි ලකුණු වැටීම හා ඒවා ආධාර දෙන විදේශ සංවිධානයට වාර්තා වීම පමණි. ජනවාර්ගික අර්බුදයට හෝ වෙනත් කිසිම ප්‍රශ්නයකට ලද සාධනීය විසඳුමක්, දිගුකාලීන විසඳුමක් ඔවුන් කිසිවකුට පෙන්වා දිය හැකිද?

නෙවිල් ජයවීර පමණක් නොව ඔහුගේ සොහොයුරාද සිරිමාගේ ආණ්ඩුවේ බලවතුන්ය. හිතවතුන්ය. ඉහළ නිලධාරීන්ය. සිරිමා ගැන මම හිතා හිටියේ මෙහෙමයි. පස්සේ කීවා මෙහෙමයි ජාතියේ හිතන අප සිරිමා ගැනත් මීට පෙර හා පසු සිටියවුන් ගැනත් අනන්ත අප්‍රමාණව අසා ඇත. ප්‍රශ්නය තිබෙන්නේ එබඳු දෙපිටකාට්ටු දේශපාලකයන් විශ්වාසයට ගෙන වුණට දර දිය අදිමින් සේවා කළා වූ ඉහළ නිලධාරීන් පෙළැන්තිය සමඟය. එක පතේ කා එහිම පහරණ නිලධාරීන් පල් හොරුන් ගැනය. ඒ පල් හොරු බටහිර දර්ශනවාද උපහැරණයට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී රාමු නම් මෙසේ යැයි දක්වමින් පසුව ජනතාවට ගිනිකෙළි සන්දර්ශන පවත්වති. ඒ ගිනිකෙළි සන්දර්ශන දැක ජනතාව මුළාවේ වැටෙතැයි ඔවුන් සිතා සිටිනවා විය හැකිය. 

එහෙත් ප්‍රශ්නය තවමත් එතැනමය. අළුයට ගිනි පුපුරු මෙනි. එබැවින් අමිහිරි අතීතය දුරලීම මාතෘකාවක් පමණකි. ඉදිරි දැක්ම වැලඳ ගැනීම විනෝද සමයට සමාන විහිළුවකි. එය විහිළුවක් වන්නේ තත්ත්වය බරපතළ වීම වළක්වාලීම සඳහා මැදිහත්වීමට අවශ්‍ය ඉඩකඩ තිබියදී එසේ නොකර (තමන් රාජ්‍ය සේවකයෙක්ය) රජයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ දේශපාලන තීන්දු පරිදි ක්‍රියා කළ යුතුය. යනුවෙන් කෙකරගාමින් සිට විශ්‍රාම ගොස් වාසය පිණිස එංගලන්තයට ගොස් යාපනයේ අමිහිරි අතීතය දුරලීමට ජාතික පොත් ලිවීමය.

ඔහුගේ සීමාවේ සිට “සිංහල පමණයි“ පනත යාපනයේ ක්‍රියාත්මක වීම වැළැක්වූයේ යැයි සිතා කවුරුන් හෝ ඔහුව ආරක්ෂා කරන්නේ නම් ඔහු එසේ කළේ එවැන්නක් නොකර යාපනයේ විසීම අනතුරුදායක බව ඔහුට මැනවින් අවබෝධ වූ නිසා බව මම කියමි. නෙවිල් ජයවීර ඊට වැඩි දෙයක් කර නැත.

නෙවිල් ජයවීරට දැනගන්නටම වුවමනා නම් ‘රාමේෂ්වර් අයියර්’ ගේ උදව්වෙන් ඔහු ලබාගත් හින්දු දහම පිළිබඳ දැනුම අප ලබාගන්නේ ‘ධම්මානන්ද කෝසම්බි’ සූරීන්ගේ ‘භගවාන් බුද්ධ’ ග්‍රන්ථය ඇසුරෙනි. එය පළමුවරට සිංහලෙන් මුද්‍රණය වන්නේ 1968 වසරේදීය. ඉංග්‍රීසි හෝ හින්දි පොත එයට බොහෝ කලකට පෙර මෙහි තිබෙන්නට ඇති බව නිසැකය.

අනෙක් අතට ගීත ගෝවින්දය. තිරුක්කුරල්, මනුස්මෘතිය යන ග්‍රන්ථ අපගේ ඇසුරට පත්වූයේ උසස් පෙළ කාලයේය. පාසල් පුස්තකාලයෙනි. තිරුක්කුරල් කියැවීමෙන් අප ලත් දැනුම් සම්භාරය නිසාම තලෙයිමන්නාරමෙන් නැවට නැඟ රාමේෂ්වරම් බලා ගොස් එතැනින් මදුරාසියට දුම්රියේ ගමන් කර ‘තිිරු වල්ලුවර්’ කවියාගේ අනුස්මරණ කෝවිල නැරැඹීමේ දුෂ්කර කාර්යයටද මුහුණ දුන්නෙමු.

මෙම ගමන්වලදී අප ලැබූ අත්දැකීම් අනුව කුල ප්‍රශ්නය නිසා යාපනයේ කුලහීනයන් නුදුරේදීම මහා විනාශයක් කරනු ඇතැයි අපි සැක කළෙමු. එය 71ට කැරැල්ල සමාන දෙයක් විය හැකි යැයිද අපේ අනුමානය විය.

මෙහිදී අපට එන් .කියූ. දියෙස් පෙනෙන්නේ ඉහත තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි පුද්ගලයකු වශයෙන් විනා නෙවිල් ජයවීරගේ දෘෂ්ටි කෝණයෙන් නොවේ. එබඳු කුරිරු ලේ වැගිරීමක් වළක්වා ඊට නිසි පියවර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකයකු සේ ක්‍රියා කරන්නට ඔහුට අවස්ථාව නොවූයේ ඇයිද යන්නට ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු විය නොහැකි වෙතත් එය අපට පැහැදිලිය. ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ට එබඳු සංහිඳියා අනවශ්‍ය. ඔවුනට හැකිතාක් බෙදීම් අවශ්‍ය කෙරේ. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී බෙදීම්ය.

ඒ ඒ ජනවර්ග අතර ගැටුම්ය. එවිට ඔවුන්ගේ බලය සදා ස්ථිරය. එන්. කියු. දියෙස්ද, නෙවිල් ජයවීරද, සිරිමා ද එබඳු අය වේ. ඔවුහු ධනපති පන්තියේ නියෝජිතවරු වන්නාහුය. මේ නියෝජිතයන්ගෙන් එක් අයෙක් විශ්‍රාමයෙන් පසු එංගලන්තයට වී ජගත් ක්‍රිස්තියානි සංගමයේ පර්යේෂණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් භාවනා කරන්නටත් යාඥා කරන්නටත් මොන මොනවා හෝ ලියන්නටත් පටන් ගෙන තිබේ. නෙවිල් ජයවීරගේ මේ පොතෙන් සිංහල – දෙමළ විරසකයට ස්ථීරසාර විසඳුමක් ලැබෙනවා නම් ශ්‍රී  ලංකාවේ මුළු මහත් ජනතාවටම කළ යුත්තේ නෙවිල් ජයවීර හා එක්ව යාඥා කිරීමය. භාවනා කිරීමය. ඒ සමඟම ‘ඉදිරි දැක්ම වැලඳ ගැනීම’ ය. යාඥා කරන අතරේ 2003 වසරේ පමණ එළි දැක්වූ ‘රාජන් හූල් ගේ “Sri Lanka – Arrogance of Power” Myths, Decadence and Mudev”  යන ග්‍රන්ථය හෝ අවම වශයෙන් වික්ටර් අයිවන්ගේ නිදහස ජාතික ඒකාඝ්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය වත් පරිශීලනය කළේ නම් ඉදිරි දැක්ම වැලඳ ගැනීම වැනි ජාතික පොත් නොලියැවෙන්නට අවකාශ තිබිණි.

එස්.ආර්. සිරි සේනානායක මහතා ගැන දැන් ලියමි. ඒ මහතා ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස උප දිසාපතිවරයෙක් ලෙස හා කැබිනට් අමාත්‍යාංශවල පළමු පෙළ විවිධ තනතුරු දැරූ අයෙකි. ඔහු කිසි විටෙකත් ඉහළ බලපෑම්වලට යටත් නොවූ බැවින් අමාත්‍ය මහින්ද විජේසේකර ඔහුගෙන් පන්න පන්නා පළි ගත්තේය. ආර්.එම්.වී. යට පැමිණි ඔහුට එහි ඉහළ නිලධාරියාගේ සිට පහළ නිලධාරියා දක්වා දූෂිතයන් බැව් හැඟී ගියේය.

ඒවාට තිත තබන්නට වූ වහාම ඔහු එතැනින් විසිවීය. කිසිම ස්ථානයක සිතට, එකඟව රාජකාරි කළ නොහැකි බව වටහාගත් ඔහු ‘ගිහින් එන්නම්’ යැයි පොතක් ලියා තබා මෙරටට සමු දුන්නේය.

ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් අවංක නම් නිලධාරීන් බොහෝ පිරිසක් සිරි සේනානායක අනුගමනය කළේ නම් ආණ්ඩුව අර්බුදයට යෑම වැළැක්විය හැකිද?

නිලධාරීන් ඉන්නේ මහජන සේවාවට විනා දේශපාලකයන්ගේ සේවාවට නොවන බව පෙන්වා දිය හැකි ඍජු කොන්දක් සහිත නිලධාරීන් මෙබඳු ක්‍රමයක් යටතේ බිහිවේ යැයි සිතීම විහිළුවකි.

ප්‍රේමතිලක පේරුකන්ද