17-18-19-20 සංශෝධනවලට අත ඉස්සූ ඩලස්ට ප්‍රතිපත්තියක් නෑ

0
17

කවුරු ජනාධිපති ලෙස පත්වුණත් පිහිටුවිය යුත්තේ  නිශ්චිත කෙටි කාලයක අන්තර් කාලීන ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර දිසානායක ඊයේ (19දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කීය.

ඔහු මෙසේද පැවැසීය.

“ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය අවසන් කිරීම සඳහා විශාල උදේ‍යාගිමත් ජනතා නැඟිටීමක් සිදුවුණා. සංකේතාත්මකව තිබුණේ රාජපක්ෂ පාලනයට එරෙහි වීමක් වුණත් එහි හරය වූයේ ආර්ථික, දේශපාලනික, සමාජීය පරිවර්තනයක වුවමනාවයි. මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාව ඉටුකර ගැනීම වෙනුවෙන් ජනාධිපති ධුරය හිස්වූ දින සිටම අප ක්‍රියා කළා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරි දේශපාලන බල ව්‍යාපෘතියක නොමැති දෙදෙනෙක් විය යුතු බවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත් අවධාරණය කළා.

ඉන්පසු කෙටි කාලයකදී මැතිවරණයක් පවත්වා ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන රට ගොඩනැඟිය යුතු බවට වූ ස්ථාවරයේ අප ඉන්නවා. අනාගත බල ව්‍යාපෘතියක් නොමැති දෙදෙනකු ජනාධිපති සහ අගමැති ලෙස පත්කර ගත යුතු බව අවධාරණය කළේ ඒ නිසයි. සංකල්පයක් ලෙස අපේ ඒ යෝජනාව බොහෝ අය පිළිගත්තත් අවසානයේදී බලකඳවුරු නියෝජනය කරන පිල් නිර්මාණය වුණා. එම නිවැරදි ක්‍රියාමාර්ගය මේ වන විට ඉවත දමා පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු තෝරා ගන්න නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

රාජපක්ෂ කඳවුර ආරක්ෂා කරන එය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහත්, එම කඳවුරෙන් ගැලවුණු පිරිස තමන් වටා ගොනුකර ගත් ඩලස් අලහප්පෙරුමත් නාම යෝජනා දී තිබෙනවා. අප සද්භාවයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ පාර්ලිමේන්තුව තුළ යථාර්ථයක් කර ගන්න හැකි වුණේ නැහැ. දැන් පවතින තත්ත්වය තුළ ජනාධිපති වශයෙන් පත්වන කවුරුන් හෝ අපේ රටේ ජනතාව මුහුණදී සිටින ඉතාම අසීරු අවස්ථාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපගේ යෝජනාව නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමැති ධුර නොමැතිව ඇමැතිවරු දස දෙනකුගේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමයි.

සීමිත කාර්යයන් වෙනුවෙන් ගොඩනැඟෙන අන්තර්කාලීන ආණ්ඩුවකට එම ඇමැතිවරුන් ප්‍රමාණවත්. පාර්ලිමේන්තුවට තව අවුරුදු තුනක නිල කාලයක් තිබුණත් එම මුළු කාලය පුරාම එය ඉදිරියට තල්ලුකරගෙන යන්න කිසිවකුට හෝ අයිතියක් නැහැ. ඒ නිසා ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය නිශ්චිතව රටට ප්‍රකාශ කරන අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන බව තවමත් රටට ප්‍රකාශ කර නැහැ. ඔවුන් එම ප්‍රකාශය කළොත් අවුරුදු තුනම පාර්ලිමේන්තුවේ සිටීමේ අපේක්ෂාවෙන් ඉන්න මන්ත්‍රිවරුන් කිසිවකු ඡන්දය දෙන්නේ නැහැ. නමුත් මම අවධාරණය කරන්නේ කෙටි කාලීන, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. මහජන මතය සහ පාර්ලිමේන්තුවේ නියෝජනය අතර විශාල පරතරයක් තිබෙනවා.

අන්තර්කාලීන ආණ්ඩු කාලය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමැතිවරුන් හෝ සංස්ථා මණ්ඩල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නියමිත මූලික වැටුප හැර කිසිදු වරදානයක්, වරප්‍රසාදයක් ලබානොදිය යුතුයි. මේ ප්‍රතිපත්තිය වෙනුවට රනිල් වික්‍රමසිංහ සමහර මන්ත්‍රිවරුන්ට වන්දි ගෙවන්නත් සූදානම් වී සිටිනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් පමණක් සමන්විත නොවී මහජන අරගලය පටන් ගත් වෘත්තීය සමිති ව්‍යාපාරය, පොදු ජනයා සහ අවසානයේ ගෝල්ෆේස් පිටියේ සංකේත්මකව කේන්ද්‍ර කරගත් අරගලකරුවන්ට අධීක්ෂණ යාන්ත්‍රණයකට මැදිහත් වීමේ අවස්ථාව ලබාදිය යුතුයි. කවර ජනාධිපතිවරයෙක් පත්කර ගත්තත් එය අවශ්‍යයි. ඒ වගේම ගොඩනැඟෙන ආණ්ඩුවෙන් ඉතා කෙටි කාලයක් තුළ තෙල්, ගෑස්, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම රැකියා අහිමි වීමෙන් සහ විශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ යෑමෙන් තමන්ගේ ආහාර වේල සපුරාගත නොහැකිව සිටින ජන ප්‍රජාවට තම ජීවිත පවත්වාගෙන යෑම සඳහා සාධාරණ දීමනාවක් ලබාදිය යුතුයි.

බිඳවැටී තිබෙන කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය, පාසල්, රජයේ කාර්යාල, පොදු ප්‍රවාහනය යළි යථාවත් කළ යුතුයි. ජනතාවගේ අරගලය තුළ මේ වුවමනාවන් ගැබ් වී තිබුණා. බලයට පත්වුණු පාලකයන් මේ වුවමනාවන් ඉටුකළ යුතුයි. නමුත් දැන් පොහොට්ටුවේ සභාපතිවරයා ස්ථීර කළ රනිල් වික්‍රමසිංහ හෝ ස.ජ.බ. නායකයා විසින් යෝජනා කළ පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම හෝ මේ අපේක්ෂා ඉටුකරාවි යැයි කිසිදු විශ්වාසයක් නැහැ. අන්තිමට පොහොට්ටුවෙන් යූ.එන්.පී. නායකයා ඉදිරිපත් කරලා ස.ජ.බෙ.න් පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඉදිරිපත් කළ විකෘතිභාවයක් තියෙනවා. ඔවුන් ජනතාවගේ ජීවිත යළි යථාවත් කරන්නේ නැහැ.

ජාත්‍යන්තරය හමුවේ පවා තහවුරු වී තිබෙන මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් මේ රට තුළ ක්‍රියාකිරීමට අපි බලකළ යුතුයි. අල්ලස, දූෂණය අවම කිරීම සඳහා නව නීති හ¾දුන්වා දීමටත් පවතින නීති ශක්තිමටත් අප ක්‍රියා කරනවා. අපේ රටෙන් පැහැගෙන ගොස් ජාත්‍යන්තරව සඟවා තිබෙන මුදල් යළි අත්පත් කර ගැනීමට ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්නවා. මෙම කරුණු ඉටුකර ගැනීමට අපේ රටේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් සහිත පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත යුතුයි. ඉතා ඉක්මනින්ම ඒ වෙනුවෙන් ඉඩක් ලබාගැනීමට  ජනතාවට ඒ සඳහා ශුද්ධ වූ අයිතියක් තිබෙනවා.

මෙම මූලික අරමුණු ඉටුකර ගැනීමේ මාස හයක උපරිමයකට යටත් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම අපේ යෝජනාවයි. හෙට ඡන්දය විමසීමට පෙර මේ පොරොන්දු ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහටත් ඩලස් අලහප්පෙරුමටත් අභියෝග කරනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් – විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ

ඉදිරිපත් වී තිබෙන දෙදෙනා පිළිබඳව සලකා  බැලීම ඉතාම වැදගත්. ඒ දෙපිලටම අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන්නේ මෙතෙක් එකම පිලේ සිටි එකම කණ්ඩායමක්. පසුගිය අවුරුදු 74ක් එකට කා බී සිටි, රට විනාශය කරා කැඳවාගෙන ආ පිරිස දෙපිලකින් ඉදිරිපත් වී සිටිනවා. මේ අතර පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රිවරුන් සිටින බවත් ඒ අයගේ උදවු අපට ලබාගත හැකි බවත් බොහෝ අය ප්‍රකාශ කළා. හෙට ජනාධිපතිවරණ ඡන්දයේදී ඒ හොඳ අයගේ හැසිරීම ජනතාවට බලාගන්න පුළුවන්.

මහජනතාව උද්ඝෝෂණ පවත්වා ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව පාර්ලිමේනතුව විසින් තෝරා ගන්න ජනාධිපතිවරයා කුමන ආකාරයෙන් පත්කර ගන්නේ දැයි ජනතාව බලාගෙන සිටිනවා. සාධාරණ, යුක්තිගරුක සමාජයක් බිහිකර අනාගතයේ කිසියම් දවසක සියලුදෙනාට යුක්තිය, සාධාරණය ඉටුකිරීම වෙනුවෙන්  ජාතික ජන බලවේගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ පෙනී සිටීම වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ තරගයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ කියන කණ්ඩායම ක්‍රියාකරන ආකාරය මේ රටේ ජනතාව හොඳින් විමර්ශනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික – සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි

රනිල් වික්‍රමසිංහ කියූ විදිහටම ඔහුගේ හුණුවටයේ කතාව වේදිකා ගත වෙන හැටි හෙට පාර්ලිමේන්තුවේදී අපට දැක බලාගත හැකි වේවි. අනුර කුමාර සහෝදරයා එක පැත්තක ඉන්න අතර අනෙක් දෙදෙනාම අනෙක් පැත්තේ සිටින බව අපට පැහැදිලියි. ඒ නිසා මෙය තුන්කොන් සටනක් නොවෙයි. දෙපැත්තක සටනක්. හෙට පරීක්ෂාවට ලක් කෙරෙන්නේ වර්ග දෙකක්. සත්‍යය සහ අසත්‍යය, දූෂිත බව සහ අදූෂිත බව මහජන කැමැත්ත පිළිගැනීම සහ එය පාවාදීම යන ආකාර හෙට දැකගත හැකිවේවි. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා දිනවන්න අසමත් වන පාර්ලිමේන්තුව ඉන් ඉදිරියට ලෝකයේ අසරණම ජනතාව, අනාථභාවයට පත් ජනතාව වෙනවා. ජනතාව අසරණ වී තිබෙන්නේ ඔවුන් විසින්ම තෝරා පත්කර ගත් මහජන නියෝජිතයන් නිසයි. සර්වජන ඡන්ද බලයේ විකෘතිම පාර්ලිමේන්තුව විය හැකි තත්ත්වයක් දැන් තිබෙන්නේ. ඒ වගේම ලෝකයේ නින්දිතම පාර්ලිමේන්තුව වීමෙන් බේරාගත හැකි වන්නේත් හෙටයි. මේ දර්ශක ගැන මා මේ තරම් ඉහළින් තබා කතා කරන්නේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය ප්‍රකාශ කෙරී තිබෙන තැන හැටියට ජාතික ජන බලවේගය විශ්වාස කරන නිසයි.

ජනතාවට සත්‍ය වශයෙන් ආදරය කරන අපේ දේශපාලන ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හෙට තෝරා නොගත්තත් අපේ රටේ ජනතාව වැරදි නිවැරදි කරගෙන ඊළඟ මහ මැතිවරණයේදී මේ ව්‍යාපාරය ඉහළින්ම ඔසවා තබනවා. මෙතරම් ගැඹුරු මොහොතක පවා අප විශ්වාස කරන්නේ ජනතාව විතරමයි. ඒ බව ඍජුවම පුරවැසියන්ට කියා තබන්න ඕනෑ.

හෙට අනුර දිසානායක සහෝදරයාට අභිමුඛ වන්නේ පොහොට්ටුවේ සභාපතිගේ පිල සහ ලේකම්ගේ පිලයි. මහාචාර්ය ජී.එල්. පීරිස් සහ සාගර කාරියවසම් පොහොට්ටුවේ සභාපති සහ ලේකම් ලෙස මත දෙකක් දරමින් කොතරම් සරල විකෘතියක සිටින්නේ දැයි පැහැදිලිය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු :-

ප්‍රශ්නය :- නිර්පාක්ෂික අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම් ඉල්ලා අස්වන බව ඔබ ප්‍රකාශ කර තිබුණා. දැන් තත්ත්වය මොකක්ද?

පිළිතුරු :- දැන් ඒකට කිසි අවස්ථාවක් නැහැ. අපේක්ෂකයන් පැහැදිලියි. හිනිදුම සුනිල් සෙනවි සහෝදරයා කීවා වගේම ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන්නේ පොහොට්ටුවේ සභාපතිගේ පිල. රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන්නේ පොහොට්ටුවේ ලේකම්ගේ පිල. එකම පක්ෂයේ සභාපති සහ ලේකම් අතර තරගයකට අපි ඉල්ලා අස්වන්නේ මොකටද? 

ප්‍රශ්නය :- ජාත්‍යන්තර සහාය තිබෙන පුද්ගලයෙක් පත්වෙන්න ඕනෑ කියන තර්කය මතුකර තිබෙනවා නේද?

පිළිතුරු :- ජාත්‍යන්තර සහාය ලැබෙන්නේ කාටද? සුද්දෙක් හ¾දුනා ගත්තොත් සහාය ලැබෙන බව බොහෝ අය සිතනවා. නමුත් රටකට උදවු කරන්නේ යාළු මිත්‍රකම් මත නොවෙයි. ප්‍රධාන තානාපති කාර්යාලයක් සමඟ සිදුකළ සාකච්ඡාවකදී අපේ රටට ණය ආධාර දෙන්නේ දැයි මා ඔවුන්ගෙන් ඇසුවා. ඔවුන්ගේ උත්තරය වුණේ  “අපි ණය දෙන්නේ අපේ රටේ ජනතාවගේ සල්ලි. ඒ සල්ලි ආපසු ලැබෙනවා කියලා අපිට ගැරන්ටියක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ රටේ ජනතාව අපේ ආණ්ඩුව වට්ටයි.” කියලා අවධාරණය කළා.

ප්‍රශ්නය :- ඩලස් අලහප්පෙරුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ නේද?

පිළිතුරු :- ඩලස් අලහප්පෙරුම යනු දාහත්වැනි සංශෝධනයට අත ඉස්සූ, දහ අටට අත ඉස්සූ, දහ නවයට අත ඉස්සූ, විස්සට අත ඉස්සූ කෙනා. මොන ප්‍රතිපත්තියක්ද? මොන හෘද සාක්ෂියක්ද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිමේ ඉඩකඩ සහ ඒකාධිපති බලතල ලබාදුන් සංශෝධනයක්. ඔහුට කිසි ප්‍රත්පත්තියක් නැහැ. එයා ගැන ගොඩක් කියන්න දෙයක් නැහැ.

අනුරාධා හේරත්