හෙද අතිකාල නිවාඩු වැටුප් කපා දැම්මොත් දැඩි පියවරක් ගන්නවා

0
23

නැඟෙනහිර පළාතේ සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවල අතිකාල පැය ගණන් හා නිවාඩු දින ගෙවීම් කපා හැරීමට ගෙන ඇති තීරණය නතර නොකළහොත් ලබන 25 වැනිදා සිට සති විවේක දින ලබා ගැනීමටත්, සියලුම රජයේ නිවාඩු දිනවල සේවයෙන් ඉවත් වීමටත් සිදුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙද හෙදියන්ගේ අමතර සේවා දීමනා හා නිවාඩු දීමනා කප්පාදුව අත්හිටුවා පෙර පරිදි ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වෙත ලිපියක් යවමින්  දන්වා ඇත.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ  2022-05-26 දිනැති 01-ඉඒ/10/2022 චක්‍රලේඛයේ  අනුමත ප්‍රතිපාදන ඉක්මවා ගෙවීම් නොකරන ලෙස කර ඇති නියමය පළාත් නිලධාරීන් වැරදියට අවබෝධ කරගැනීම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි ද එම සංගමයේ ප්‍රකාශකයෙක් “මව්බිම”ට පැවැසීය.

සත්‍ය වශයෙන්ම සේවා අවශ්‍යතාව අනුව සේවයේ යෙදුනු පැය ගණනට හා රාජකාරි ඉටුකළ දිනවලට කරන ගෙවීම් කපා හැරීම බරපතළ වරදක් බවද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

සේවා මුර යෙදවීම කළමනාකරණය කර පවතින ප්‍රතිපාදන මත ගෙවීම් කිරීමට ලබාදී ඇති උපදෙස් නොසලකා තිබෙන බවත් ආණ්ඩුකාරවරිය ඇතුළු නැඟෙනහිර පළාත් සෞඛ්‍ය ප්‍රධානීන් මැදිහත්ව ගැටලුව විසඳිය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අමිත් මධුරංග ගමගේ