හලාවත අධිකරණයේ නීතිඥවරයකුගේ ආරච්චිකට්ටුවේ නිවෙසට මැර ප්‍රහාරයක්

0
29

හලාවත අධිකරණ නීතිඥවරයකුගේ ආරච්චිකට්ටුව පදිංචි නිවෙසට සිදුව ඇති මැර ප්‍රහාරයක් සහ මරණ තර්ජන ලිපියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (19දා) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙසේ මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ හලාවත අධිකරණ නීතිඥ තරංග දිසානායක  යන නීතිඥවරයකුගේ නිවෙසකටය. මැර ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නැති අතර නිවෙසේ පිටුපස ‍ෙදාර කඩා දමා නිවසට ඇතුළු වී ඉහළ මාලයේ නීතිඥවරයාගේ නිදන කාමරය කඩා එම කාමරයට ගොස් එහි මරණ තර්ජනාත්මක ලිපියක් තබා ගොස් ඇති බවත් නීතිඥවරයාගේ මෑණියන් නිවෙසට පැමිණි අවස්ථාවේ දැකීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිඥවරයාගේ මව මෙසේ පැවැසුවාය. 

මාස දෙකක කාලයක පටන් මගේ පුතාට දුරකථනවලින්, නිර්නාමික ලිපිවලින් තර්ජන තිබුණා. මරණ තර්ජන කළා. ඉන් අනතුරුව පුතා සතියකට වඩා වැඩි කාලයක පටන් නිවෙසට ආවේ නෑ.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළා. නීතිඥ සංගමයෙන් සහාය ඉල්ලා සිටියා. ඒත් කිසිම සහයෝගයක් තිබුණේ නෑ. එදා පුතා නිවෙසේ සිටියා නම් ඔහුව මරන්නත් තිබුණා. නීතිඥවරයෙක් හැටියට පුත්තලමේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සහ සභාපතිවරයකුගේ නඩුවලට කතා කළා. ඒ පළිය තමයි ඔය ගන්නේ.

 මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අගතියට පත් නීතිඥවරයාද මෙතෙක් නිවෙසට පැමිණ නැති අතර පැමිණි මැරයන් විසින් දමාගිය අත්වැසුම් දෙකක්ද පරීක්ෂණ සඳහා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එසේම ‍ෙදාරවල් දෙකක ඉබියතුරු කඩා බිඳ දමා ඇති අතර නිවෙසේ කිසිදු දෙයක් කොල්ලකා නැති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී තහවුරුව ඇත.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, හලාවත කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ, පොලිස් අධිකාරි රංජිත් විජයවර්ධන යන නිලධාරීන්ගේ උපදෙස් මත ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වී. අරුණශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

වීහේණ අනුරාධ