සුළුතරයකගේ කැමැත්තෙන් බහුතරය නියෝජනය කළ හැකිද?

0
225

ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඉතාම තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නව වැනි විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඡන්දයකින් පත් කරනු ඇත. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමෙන් පසු එවකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ සිටි ඩී.බී. විජේතුංග මහතා කෙටි කාලයකට ජනාධිපති ධුරයට පත්වූ අතර ජනාධිපතිවරයකු ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් නියෝජිතයකු තෝරා ගැනෙන්නේ පළමු වතාවට මෙය බව සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරණයකට තරග කර පුරවැසියන්ගෙන් ප්‍රශස්ත ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් මැති ඇමැතිවරු පාර්ලිමේන්තුව තුළ සිටිති. ජයග්‍රහණයට අවශ්‍ය බහුතර ඡන්ද නොලැබූ එම අපේක්ෂකයන් හෝ ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවූ, කෙසේ වෙතත් සුළු මහජන නියෝජනයක් ඇති පුද්ගලයකු අද පවත්වන පාර්ලිමේන්තු ඡන්දයෙන් බහුතරය නියෝජනය සඳහා තේරී පත්වනු ඇත.

ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටි ප්‍රජාව මහ පාරට බැස අරගලයක නිරත වූ අතර දින එකසිය එකක් දැනට ගත වී තිබේ. ජනතා විරෝධයට හේතු වූ පිරිස ඉවත් කරන්නට අරගලයට හැකි විය. ජනතාව තමන්ගේ දුක, වේදනාව කෑ ගසා කියනු ඇත. අත් ලෙළවා වේදනාව ප්‍රකාශ කරන බව පිළිගත යුතුය. ආර්ථිකය නිසි පරිදි ගොඩනඟන සැබෑ අරගලය නැවත වතාවක් ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවෙන් පත්වන නායකයාට සහ ඔහුගේ ඇමැති මණ්ඩලයට විශාල කාර්යභාරයක් පැවරී ඇත. විනාශය තුළින් පාඩම් ඉගෙනගෙන අලුත් යුගයක් නිර්මාණය කළ යුතුය.

දේශපාලනය විසින් උඩු – යටිකුරු කළ ආර්ථිකය

අනපේක්ෂිත තත්ත්වයක් ඇතිකරන්නට මුලපුරන්නේ ආර්ථික ප්‍රශ්න බව සැඟවිය නොහැකිය. ජනතාව දැවෙන ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින අතර බලශක්තිය, ප්‍රවාහනය සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළු කිසිම පැත්තකින් සහනයක් ලැබුණේ නැත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දෙගුණ තෙගුණ වනවිට ඉසිලිය හැකි නොවීය. කිරි පිටි, ගෑස් සහ රසායනික පොහොර යනාදිය සුඛෝපභෝගී දේ නොවේ. ඒවා ආනයනය කිරීම නතර කර විනිමය ඉතිරි කරන්නට උපදෙස් දුන් ඉහළ නිලධාරීහු පවතින අර්බුදයේ කැඳවුම්කරුවෝ වෙති. කිසියම් ආකාරයකට මෙම ගැටලු වළක්වා ගැනීමේ අවස්ථා තිබිණි.

ආණ්ඩුව සිය විනිමය අර්බුදය හඳුනාගෙන තාවකාලික සංචිත උපයා ගත යුතු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඇතුළු කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ දු–ඛිතභාවයට පත් රටවලට දිය යුතු විශේෂ ආධාර ප්‍රකාශයට පත් කළේය. එයට අමතරව රටට හිමි කෝටාව යටතේ සංචිත උපයා ගත හැකිව තිබිණි. පටු අදහස් සහිතව ක්‍රියා කළ ඇතැම් මහජන නියෝජිතයන් මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එරෙහි වූ අතර ණය සංචිත ඉල්ලීමට එරෙහිව මත ගොඩනැඟූහ. ඔවුහු අපරිණත පිරිසක් වශයෙන් දේශපාලන ඉතිහාසයෙහි සටහන් වනු ඇත.

ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා බලයට පත් වූ දිනයේ සිට සමාජය ඇවිළෙනසුලු ස්වභාවයක තිබිණි. ආයෝජනයට එරෙහිව විරෝධතා පැනනැඟිණි. වරාය සංවර්ධන ව්‍යාපෘතිය, එම්.සී.සී. ගිවිසුම සහ ‘යුගදනවි’ එයින් සමහරකි. මංතීරුවක් තැනීම, සිංහරාජයේ පාරක තාර දැමීම පමණක් නොව අධිවේගී මාර්ගයකට හසුවන ගහක ප්‍රශ්නයක් පවා මහා ඇවිළීමකට හේතු විය. වැඩ වර්ජන ගණනාවකි. වෘත්තීය සමිති විරෝධතා නිතිපතා පැවැතිණි. ගුරු-විදුහල්පති සටන එයින් ප්‍රධානය. මේවා වර්ධනය වී සමාජය පෙළන්නට ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම හේතු වූ බව සඳහන් කළ යුතුය.

මෙම අසංවිධිත කැලඹිලි දේශපාලන ආර්ථිකය බෙලහීන කළ අතර අවසානයේදී එය කිසිසේත් ගැලවීමක් නැති උගුලක ස්වභාවයකට පත්විය. විදේශ විනිමය සංචිත බින්දුවට වැටිණි. තෙල් නැවක්, ගෑස් තොගයක් හෝ අත්‍යවශ්‍ය බෙහෙත් ප්‍රමාණයක් ආනයනයට පවා විනිමය නොමැති තැනකට පත් වූ රටකට වහාම විසඳුමක් තිබේ.

එකතු නොවුණහොත් දැවැන්ත වන්දියක්

ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කරන එකඟතාවක් අපට ඇත. අලුත් ජනාධිපතිවරයා යටතේ තීරණාත්මක විස¾දුම් සොයා ගැනීමට ක්‍රියා කළ යුතුය. ජනතාව දැවෙන ප්‍රශ්න මැද සිටින බව පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ – විපක්ෂ මහජන නියෝජිතයෝ වටහා ගත යුතුය. තමන්ගේ වාරය එනතෙක් බලා සිටියහොත් ප්‍රශ්න දින හැරෙනු ඇත. මෙම අවස්ථාවේදී ආර්ථික ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා සම්පූර්ණ ශක්තිය යෙදවිය යුතු අතර එය මඟහැර සිටියහොත් ඊළඟ ඡන්දයේදී ජනතාව ඉදිරියට යන්නට නොහැකිවනු ඇති බවට සැකයක් නැත.

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර අමෙරිකානු ඩොලර් බිලියන 51ක් බව දැක්වේ. ණය ගෙවාගත නොහැකි බව ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ණය ප්‍රමාණය ටි්‍රලියන ගණනකි. තව තවත් ණය ගැනීම පදනම් කරගෙන වාණිජ බැංකු පොලී අනුපාත වැඩිවෙමින් පවතී. රජයේ ආදායම දුර්වල වී ඇති අතර පසුගියදා ආණ්ඩුව වහාම බදු වැඩි කර තිබේ. අලුත් ජනාධිපතිවරයා තෝරාගත් වහාම ඔහුගේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ඇති අතර තාවකාලික අය – වැය ලේඛනයක් සමඟ ආර්ථිකය ගොඩනඟන දර්ශනය ප්‍රකාශයට පත් වෙතැයි සැලකේ.

අය – වැය හිඟය අඩු කරන අතර උත්පාදනය වැඩි කරන ක්‍රම සඳහා පියවර ගත යුතුව ඇත. කර්මාන්ත හා ව්‍යාපාරවලට ඉඩ දෙන සැහැල්ලුභාවයක් අවශ්‍ය කෙරේ. දේශපාලන ස්ථාවරභාවය එහිලා වැදගත්ය. එමඟින් ක්‍රමය කෙරෙහි විශ්වාසය වර්ධනය වන අතර ආයෝජනයට හිතකර ස්වභාවයක් ඇති වේ. පවතින තද නීති හා රෙගුලාසි ලිහිල් කර ව්‍යාපාර හිතකර තත්ත්වයක් ඇති කරන්නට පියවර ගැනීම  දේශපාලන පක්ෂවල වගකීමකි. එය ප්‍රමාද කරන දිනයක් පාසා බරපතළ වන්දියක් ගෙවන්නට සිදුවන අතර ජාත්‍යන්තර ප්‍රජාව සහන දෙන ප්‍රමාණයෙහි සීමාවක් ප්‍රකාශ වෙන්නට ඉඩ තිබේ.

ආර්ථිකය සෘණ අගයකින් පහළට වැටීම

දැනට ලැබෙන වාර්තා අනුව ගෙවී යන මෙම වසර ඉතාම දරුණු තැනක පවතී. මූල්‍ය විශේෂඥයන් අනතුරු අඟවන පරිදි ආර්ථිකය සෘණ හතක පමණ පසුබෑමක් සනිටුහන් කරනු ඇත. දළ දේශීය නිෂ්පාදිතය සියයට පහ ඉක්මවන වර්ධනයක තිබියදී පවා එහි පීඩනය දැනුණු රටකට සෘණ අගයකදී මුහුණ දෙන්නට සිදුවන ඉරණම පහසු එකක් නොවේ. දැනටමත් තෙල් ලීටරයකට, ගෑස් සිලින්ඩරයකට පෝලිමේ සිටින ජනතාව අලුත් පාලනයක් තුළ පවා ක්ෂණික පිබිදීමක් ගැන අපේක්ෂාවක පසුවීම සුදුසු නැත. මෙම චක්‍රයෙන් ගොඩ එන්නට අවම වශයෙන් මාස දහ අටක කාලයක් ගත වනු ඇත. ආයෝජනවලට දෙන ඉඩකඩ දේශපාලන ස්ථාවරභාවය හා ඉදිරි සැලසුම් සියලු යහපත නිර්මාණය කරන බව දැක්විය යුතුය.

ආර්ථිකය පහළටම හෝ සෘණ තත්ත්වයට වැටුණු රටවල් තිස් තුනක වාර්තාවක් ප්‍රකාශයට පත්ව ඇත. චීනය, ඉන්දියාව, ඇමරිකාව, ජපානය සහ ජර්මනිය පවා එම ලැයිස්තුවට ඇතුළත්ය. මෙම රටවල් නැවත හිස එසැවීම සඳහා අනුගමනය කරන උපායමාර්ග අධ්‍යයනය කිරීම සුදුසුය. තරගකාරීත්වය එහි පෙරමුණ ගෙන ඇත. පෞද්ගලීකරණය විශාල සාධකයකි. ඉන්දියාව සිය ජාතික ගුවන් සේවය පවා පෞද්ගලීකරණය කර ඇත. ජාතික රක්ෂණ ආයතනය පෞද්ගලීකරණයට සූදානම් වෙයි. එරට පාලකයන් එවැනි පියවර ගැනීමට මුල් වූ හේතු සංකීර්ණය. රජයට අවාසි සහ පෞද්ගලික අංශයට මැනැවින් ක්‍රියාත්මක කළ හැකි තැන් මර්මස්ථාන බව නොසලකා පවරමින් සිටී. ඒවායෙන් ලැබෙන ආදායම ජාතික වත්කම් තවත් වටයකින් තර කරයි. මෙම ව්‍යවසාය අත්පත් කරගන්නා ව්‍යවසායකයන් ඒවායෙහි යොදවන ධනය ආර්ථිකය ප්‍රසාරණය කරන අතර ඒවායෙන් අය කරන බදු සමාජ යහපතට යෙදැවේ.

පෞද්ගලීකරණය වහාම ක්‍රියාවට නංවන පියවර

රජයට අයත් ව්‍යවසායන් ලබන අලාභ ගැන ‘කෝප්’ වාර්තා අපට පෙන්වා දී තිබේ. මහජනතාවගෙන් ඉතා විශාල ලෙස බදු අය කරන ආණ්ඩු ඒවා අසාර්ථක දුබල රාජ්‍ය ආයතන නඩත්තු කරන්නට යොදවයි. මහජන නියෝජිතයන් 225 දෙනකුගේ පැවැත්මට මහජන මුදල් වැය කරන ආකාරය ගැන ඇති විවේචන හාරසියයකට අධික රාජ්‍ය ආයතනවල අසාර්ථක පැවැත්ම ඉදිරියේ නොසලකා හැරීම වරදකි.

වහාම තීරණ ගත යුතු අතර තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය, ගෑස් බෙදාහැරීම ගුවන් සේවය ඇතුළු රටට බරක් වී ඇති අංශ පෞද්ගලීකරණය කළ යුතුය. පාර්ලිමේන්තුව මෙම අංශයෙහි අභ්‍යන්තරය හඳුනාගත යුතු අතර අද පවතින ව්‍යුහය වෙනුවට ඊළඟට බලයට එන ඊළඟ පරම්පරාව මුහුණදෙන ව්‍යසනය ගැන අද තීරණ ගත යුතුය. ව්‍යවස්ථා හැදීම, බලය බෙදාහැරීම වැනි තීරණාත්මක කරුණු හා සමානව රජයේ ආදායම වනසන ආයතන හා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අලුතින් පත්වන ජනාධිපතිවරයා අවධානයට ගැනීම සුදුසුය. පාර්ලිමේන්තුව එයට අවනත විය යුතුය.

ආර්ථිකයක් පසුබෑමකට ලක් වූ පසු එහි ඇති වාසිවලින් ප්‍රයෝජන ගන්නට ව්‍යවසායකයන් සූදානම්ය. දෙස් – විදෙස් ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් සඳහා ඉඩකඩ සැපයීම අවශ්‍යය. විදේශීය ආයෝජන රටට විනිමට රැගෙන එන අතර මෙම අංශ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන සූදානම් කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 11 නොඉක්මවයි. එයින් වැඩිම ආදායමක් ලබන්නේ ඇඟලුම් කර්මාන්තයයි. ශ්‍රී ලංකාව ඇඟලුම් කර්මාන්තයෙන් ලබන ආදායම මෙන් ‍ෙදාළොස් ගුණයක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන හැටක් බංග්ලාදේශය උපයයි. මේවා ව්‍යාපාරික වශයෙන් සැලකිය යුතු කරුණු බව සඳහන් කළ යුතුය. තාක්ෂණය, කෘෂිකර්මය, බලශක්තිය වැනි අංශවල අවස්ථා රටට ඇති අතර ඒවායේ ආයෝජනයට ඉඩ දෙන ක්‍රමයක් සකස් කිරීම අලුත් විධායකයට පැවැරෙන ප්‍රමුඛ කාර්යයකි.

අවුල ඇවිළීමකින් රටක් නැඟෙන්නේ නැත

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. ව්‍යවස්ථාව ගැන අප්‍රමාණ ගැටලු තිබේ. විධායක ජනාධිපති ධුරය අග මුල තෝරාගත යුතු අංශයකි. 1978 සිට අද දක්වා එහි වෙනස්කම් නිසි සේ කරගන්නට පාර්ලිමේන්තුව අසමත්ව ඇත. මනාප ක්‍රමය, පළාත් සභා ක්‍රමය, ජාතික ලැයිස්තුව වැනි අංශ ගැන විවේචන ඇත. අරගලයට හේතුව ආර්ථිකය වන අතර බලයට එන්නට ඉඩ නැති ජනප්‍රිය සංස්කෘතියෙන් එපිට සිටි ප්‍රවාහයකයන්ගේ බලපෑමද ඇත.

ඡන්දයක් කරන්නට විශාල වියදමක් අවශ්‍ය අතර ඡන්ද දායකයා නඩත්තු කරන්නට සිදුවේ. සාමාන්‍ය පුද්ගලයකුට එය කළ නොහැකිය. අවසානයේදී දූෂිත බලයෙන් ධනය උපයන කණ්ඩායමක් බිහිවෙයි. අරගලය එකී කණ්ඩායමට එරෙහිව නැඟෙන ප්‍රහාරයක් බවද සැලකිය යුතුය. ආර්ථික අංශ සලකා බලන අතරවාරයේ සමාජ සාධාරණත්වය හා මහජන නියෝජනයේ යුක්තිසහගත බවද අවධානයට ගත හැකි ක්‍රමයක් බිහි කරගත යුතුව ඇත. මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා ගත යුතු තීරණ අප ඉදිරියෙහි තිබේ.

හැත්තෑ ගණන්වල සිට බලගැන්වුණු කැරලි ත්‍රස්තවාදය පාස්කු ප්‍රහාරය දක්වා විහිදී ඇත. අරගලය රටට කරන ලද විනාශයද මෙහි එක පැත්තකි. ගිනි ඇවිළවීමෙන් පසු නැවත ගොඩනැඟීම පහසු නැත. පසුගිය මාස තුනකට වැඩි කාලය තුළ රට ගොඩනඟන්නට තිබුණු ශක්තිය මහ පාරේ වැය කර තිබේ. සෑම අංශයකම දැවෙන ප්‍රශ්න ඇති බව පිළිගත යුතුය. සටන්වලින් ජනතාව හෙම්බත්ව සිටින බව මතක් කළ යුතු අතර ජනතාවට අවශ්‍ය සැනසිල්ලේ ජීවත්වීමටය. යහපත් ආර්ථික වටපිටාවක් ඇති සමාජ අර්බුදවලින් නාස්ති නොවූ යුගයක් ඇති කරන වගකීම අද බලයේ සිටින සෑම නායකයකුටම ඇත. බලය අල්ලා ගන්නට උත්සාහ කරන සියලු දෙනාටමද එය එසේම අදාළය. ජන ජීවිතය ව්‍යාකූල නොකරන සහ ආර්ථිකය නැවත ගොඩනඟන අවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවෙන් සම්මුතියක් ලබාගැනීම උචිත බව සඳහන් කළ හැකිය.

ශාමින්ද වත්තේගෙදර