සුසමයවාදී ජනාධිපතිවරයෙක්.

0
89

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතරමඟ අතහැර දමා ගිය ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අදට යෙදී තිබේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කවරකු වේදැයි අනාවැකි කියන්නට අපි ඉදිරිපත් නොවෙමු.

රනිල්, ඩලස්, අනුර කවුරු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජයග්‍රහණය කළත් හෙතෙම ඉදිරි මාස 28 දී පූර්ණ බලැති විධායක ජනාධිපති වශයෙන් ලංකාව ආණ්ඩු කරනු ඇත. අභිනවයෙන් තේරී පත්වූ විධායක ජනාධිපතිවරයාට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබුණාටත් වඩා වැඩි ඒකාධිපති බලයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ලබාදී තිබේ.

එය, ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමමින් යකා නැටිය හැකි තරමේ දුෂ්ට බලයකි. එම බලය ආපසු හැරවීමට මේ අවස්ථාවේ කතා කිරීම නිෂ්ඵලය. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කරන්නට පෙර ජනාධිපති ධුර අපේක්ෂකයන්ගෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි  කර ගැනීමට ජනමාධ්‍ය ඔස්සේ දරන ලද උත්සාහයද ව්‍යර්ථ  විය. ප්‍රතිපත්ති යට ගොස් ජුගුප්සාජනක වරදාන සහිත දේශපාලන කුමන්ත්‍රණ මෙවරද  කරලියට පැමිණියේය.

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ තරුණ හඬ කෙරෙහි හෝ ඔවුන් ඉල්ලා සිටි “සිස්ටම් චේන්ජ්”  යථාර්ථයක් කිරීම පිළිබඳව කිසියම් වූ අවධානයක් යොමු නොවීම ඛේදවාචකයකි. වැඩ බලන ජනාධිපති රනිල් කතා කළේ කොහෙන් හෝ අතමාරුවක් ගෙන ඉන්ධන, ගෑස්, රසායනික පොහොර ප්‍රශ්නය විසඳීම ගැනය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය දිගින් දිගට ඇදී යෑමට ඉඩ දියයුතු නැතැයි වැඩ බලන ජනාධිපති ප්‍රකාශ කළේය.  මහබැංකු වංචාව, සීනි බදු වංචාව වැනි මහා පරිමාණයේ දූෂණ ඔහුගේ මතකයේ නැති බව පෙනේ. ශ්‍රී ලංකා දේශපාලනයේ සුලබ වචනයක් වූ දූෂණයට තිත තැබීම ගැනද රනිල් කතාකළේ නැත.

ඒ වෙනුවට හෙතෙම වැඩි බර තැබුවේ ෆැසිස්ට්වාදය පරාජය කිරීම ගැනය. රනිල්ගේ මාමා ජනාධිපති  ජයවර්ධන යුගයේදී ද වැඩිපුර කතාකළේ නක්සලයිට්වරුන් පරාජය කිරීම ගැනය. ජේ.ආර්.ගේ ගණන් බැලීමට අනුව ලංකාවේ සිටි දරුණුම නක්සලයිට්කාරයා විජය කුමාරතුංගය. නක්සලයිට් ව්‍යාපාරය හිස එසවීම වැළැක්වීම සඳහා ඔහු විජය කුමාරතුංග අල්ලා සිරගත කර වධ දුන්නේය. රනිල් වික්‍රමසිංහ ෆැසිස්ට් ලේබලය අලවන්නේ ඔහුට විරුද්ධ මත දරන දේශපාලන බලවේග කොටු කරන්න දැයි අපි නොදනිමු.

ෆැසිස්ට්වාදය වනාහි අන්ත දක්ෂිණාංශික, අන්ත ජාතිකවාදී දේශපාලන ප්‍රවණතාවකි. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි හා ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ෆැසිස්ට්වාදී ආඥාදායකයෝ වූහ. ෆැසිස්ට්වාදය දක්ෂිණාංශික රාජ්‍ය පාලනයේ උච්චතම අවස්ථාවක් මිස ජනතාව අතරින් පැනනඟින්නක් නොවේ. නක්සලයිට් ව්‍යාපාරය යනු 1964 ඉන්දියාවේ නක්සල්බාර්හි පැනනැඟුණු මාවෝවාදී ගොවි කැරැල්ල පදනම් කර ගනිමින් දේශපාලන සාහිත්‍යයට එක් වූ වචනයකි.

දැනටමත් වැඩ බලන ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනත, හදිසි අවස්ථාව බලගන්වමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමා තිබේ. නමුත් මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජන ජීවිතය යථාවත් කරමින් ගිනිගත් රට නිවා දමන, මනා සංයමයකින් යුත් අරගලකරුවන්ගේ හඬට මෙන්ම රටේ බහු ජනතාවටද සවන් දෙන සුසමයවාදී රාජ්‍ය පාලනයකි.

ඉදිරි සති 28 සඳහා රටේ පාලනය භාර ගන්නා අනුප්‍රාප්තික ජනාධිපති රට වැටී ඇති අගාධයෙන් ගොඩගත හැකි දේශපාලන පරිඥානය සහිත පුද්ගලයකු වීම අනිවාර්යය. පුරවැසි බලය විසින් පාර්ලිමේන්තුවට පිටතින් එල්ල කරන තෙරපුමට සාධනීය ප්‍රතිචාර දක්වා රට ගොඩ ගැනීමට ඔහු සමත් විය යුතුය.