සාහිත්‍යකරුවාට ඕස්ට්‍රේලියා සමාජයේ ඇති ගෞරවය අපේ රටේ නෑ

0
28

ප්‍රේමදාස ෆොන්සේකා (ඩබ්ලිව්.පී. ෆොන්සේකා- විනීතා කරුණාරත්න) දෙපළගෙන් සප්ත ස්වරයේ ආභාසය ලැබුවෝ දස දහස් ගණනකි. විශේෂයෙන් කැලණි මිටියාවත ඉසව්වේ මොවුන්ගේ සංගීත සිසුවෝ බොහෝ වෙති. ඒ අභාසයම ලත් භාෂ්වර නම් වූ ලොකු පුතා අද වන විට සංගීත විෂය සම්බන්ධයෙන් සරසවි ඇදුරෙකි. එසේම සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙකි. එහෙත් ෆොන්සේකා යුවළගේ බාල පුතා කුඩා අවධියේ සිට සංගීතය උගත්තද, වැඩි අවධානයක් යොමු කළේ සාහිත්‍යයටය.

පළමුව පත්තරකාරයෙක් ලෙස ලක්බිමටත්, එතැනින් ලක්බිම නිව්ස් වෙතටත් මාරු වෙන තිලංග ශ්‍යාම්ජිත් ෆොන්සේකා නම් වූ ඔහු පසුව නවතින්නේ කැන්ගරු දේශයේය. එහෙත් නිරන්තරයෙන් උපන් පොළොව ගැන අවධානයෙන් ආදරයෙන් පසුවන ඔහු මෑතකදී සිය පළමු නව කතාව වන ‘ඝර්ම’ පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කළේය. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ සිය සහෘදයන් සමඟ මංගල කෘතියේ ආදරය බෙදාගන්නට සූදානම් වූ ශ්‍යාම් ලංකාවේදී මුහුණ දුන්නේ වෙනස්ම අත්දැකීමකටය. පරම්පරා ගණනක පාලකයාගේ පත්වීම් වූ පුරවැසියා එය නොදැන අවනතව ශීර්ෂය නමමින් සිටි ඉතිහාසය අලුත් පරපුරක් විසින් කණපිට හරවා තිබෙන අරගලයක ආදරය ඔහුට විඳින්නට ලැබිණ.

ඉනික්බිති ඒ අපූර්ව අරගලබිමේ දැනුම වෙනුවෙන් විවර වූ පුස්තකාලයේ ඔහුගේ කෘතියේ පළමු පිදුම නැවතිණි. එතැන් සිට ඔහුගේ කුලුඳුල් නවකතාව බොහෝ දෙනෙක්ගේ අතට පත්ව වී ඇතුවාට සැක නැත. එහෙත් ඒ අකුරු පිටුපස තියෙන දේශපාලනික සමාජ කාරණා ඇතුළු ඔහුගේ නිර්මාණවේශයේ ස්පර්ශයන් කවරේද යන්න පාඨකයාගේ කියවා ගැනීමට වැදගත් වෙනු ඇතැයි අපි සිතුවෙමු. මෙතැන් සිට ගලන්නේ ඒ සංලාපයයි. ඔබේ මුළු පවුලම සංගීතය වෘත්තිය කරගත් අය. ඔබ තෝරාගත්තෙ ජනමාධ්‍ය. ඊට පසුව අද සාහිත්‍යකරණයට පය තබලා. මේක පවුල හා සැසඳීමේදී වෙනසක්ද? එහෙම නැත්නම් සංගීත කලාවේම දිගුවක්ද?

එය සංගීතයේ දිගුවක් නොවුණත් මා හැදී වැඩුණු කුටුම්භය තුළ පැවැති දිගුකාලීන පුහුණුවේ දිගුවක් කිව්වොත් නිවැරදියි. මා ඉපදී හැදී වැඩෙන්නේ සංගීතය වෘත්තීය මෙන්ම ජීවන ව්‍යායාමය කොට ගත් පවුල් පසුබිමක් තුළයි. මාගේ පියාත් සොහොයුරාත් දක්ෂ සිතාර් වාදකයන්, එමෙන්ම ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නමක් සනිටුහන් කළ කලාකරුවන්. එසේම මාගේ මව විශ්‍රාමික සංගීත ගුරුවරියක්. මා කුඩා කල පටන් දිනයේ වැඩ කරන පැය අටට අමතරවත් මා ආත්මය පුර්වාලූයේ සංගීතයයි. නමුත් ජීවිතයේ සංගීතයට අමතරව ජීවිතයේ රසවින්දනය හා එය කළ යුතු ආකාරය පිළිබදව මගේ මවුපියන්ට හොඳ අවබෝධයක් තිබුණා.

එම අභ්‍යාසය මටත් මගෙ අයියටත් ජීවන ව්‍යායාමයක් වශයෙන් අම්මා පුහුණු කළා. නිදසුනක් වශයෙන් කොළඹින් පිට ගමනක් යද්දී වුව දෙපස සුන්දරත්වය විඳින්නට පුහුණු කළේ අම්මා. කොටින්ම ජීවිතය යනු සංගීතයම හෝ මුදල්ම පමණක් නොවන වග අප හට මවත් පියාත් කියා දුන් කදිම ජීවන පාඩමක්. විශේෂයෙන්ම මා කියැවීමට ඇබ්බැහි වන්නේ මාගේ අම්මා නිසයි. ඇය බොහෝ සේ පොත පත පරිශීලනය කළ තැනැත්තියක්. එම පුහුණුව මා කුඩා කලදීම ලේඛනය වෙත කැන්දන් යන්නට සමත් වූවා කියතොත් නිවැරදියි.

ඔබ සෑහෙන කාලයක් මවුබිමෙන් අෑත්ව සිටියත් මේ පොළව ගැන වෙනස්වීම් සම්බන්ධයෙන් යාවත්කාලීන වෙන කෙනෙක්. ජීවත්වෙන පරිසරයට සාපේක්ෂව ලංකාවේ කලාව හා සාහිත්‍යය තිබෙන තැන ගැන ඔබේ අදහස කෙබ¾දුද?

ඕස්ට්‍රේලියානු සමාජය තුළ පවතින සාහිත්‍යකරණ ක්‍රියාවලිය ලාංකේය සමාජය හා සැසඳී මේදී බොහෝ වෙනස්. ප්‍රධාන වශයෙන් සාහිත්‍යකරුවාට එකී සමාජය විසින් ලබා දෙන ගෞරවය හා තත්ත්වය මෙහිදී  පෙන්වා දිය හැකිය. එසේම ව්‍යාපාරිකයා (ප්‍රකාශකයා) හා සාහිත්‍යකරුව අතර පවතින පැහැදිලි රේඛීය සම්බන්ධතාව. ඊට අමතරව පවතින නීති පද්ධතිය තුළ ප්‍රකාශන අයිතීන් සම්බන්ධ නීති මඟින් ප්‍රකාශකයා හා සාහිත්‍යකරුවාට ලබා දෙන මූල්‍යමය රැකවරණයත් ලාංකේය සමාජය හා සැසඳීමේදී වෙන්කොට පෙන්වා දිය හැකියි.

මා දකින අනෙත් විශාලම ගැටලුව වන්නේ ලාංකේය සාහිත්‍ය කෘති වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම සඳහා ප්‍රකාශකයන් අත හෝ සමස්ත වෙළෙඳපොළ තුළම පවතින දරිද්‍රතාව. ඒකට භෞතික දුප්පත්කම විතරක් නෙමෙයි මිනිසුන්ගේ අධ්‍යාපනික දුප්පත්කමත් හේතුවක්. එම හේතුව මූලික කොටගෙන අප උසස් සාහිත්‍ය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගමන් කිරීම ඉතාමත් මන්දගාමී වී තිබෙනවා. එය ලාංකේය සාහිත්‍යකරණය පවතින ඉතාමත් සෘණාත්මක තත්ත්වයක්. නිදසුනක් වශයෙන් ඔබ ඇමසෝන් වෙබ් අඩවියට පිවිස බලන්න එවිට ජාත්‍යන්තර සාහිත්‍යයත් ලාංකේය සාහිත්‍යත් පවතින්නේ කෙතරම් වෙනස් ලෝකයන් දෙකක දැයි හොඳින් වැටහෙයි.

මෙහිදී එක් සුවිශේෂී කරුණක් ඉස්මතු කළ යුතුයි. ලාංකේය සාහිත්‍යකරුවො සැමදා ප්‍රබල මෙන්ම අතිශය නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් දක්ෂයන්. ඔවුන්ගේ නිර්මාණ  විසින් සමාජය විවිධාකාරයෙන් පෝෂණය කරනවා සේම අප වැනි විදේශ ගත ලේඛකයන් හට සිංහල භාෂාවෙන් තවදුරටත් ලේඛනයේ යෙදීමට අනුබල ලබා දෙනවා. නමුත් පරිපූර්ණ නිර්මාණයකට පමණක් ලංකාවේ සමස්ත සාහිත්‍යකරණය වෙළෙඳපොළ තුළ සාර්ථකව රඳවා ගැනීම කළ හැක්කක් නොවේ. ඒ සඳහා ලාංකේය වෙළෙඳපොළද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමන්ගේ ඉපැරණි චදචතධඨ අදහස් ඉවත් කොට නවීකරණය විය යුතු බවයි මම යෝජනා කරන්නෙ.  නිදර්ශනයක් වශයෙන් ජාත්‍යන්තර සාහිත්‍යකරණය තවමත් මුද්‍රණ යන්ත්‍රය මත රඳා පැවැතුණද ඒ හා සමගාමීව නවීන තාක්ෂණය බහුල වශයෙන් ප්‍රකාශන මාධ්‍ය සඳහා යොදාගනු දක්නට හැකිය.

ඕස්ට්‍රේලියානු සමාජය තුළ සමකාලීනව පොත් කියවනවට වඩා බොහෝ පාඨකයන් පොත් දෙසවනින් ශ්‍රවණය කිරීමට වැඩි ප්‍රවණතාවක් දක්වනවා. එම ප්‍රවණතාව හේතුකොටගෙන ජාත්‍යන්තර ප්‍රකාශකයන් වැඩි වැඩියෙන් තමන්ගේ ග්‍රන්ථ ඩිජිටල්කරණය කරමින් ඕඩියෝ සහ වෙනත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පාඨකයා වෙත  ආකර්ෂණීය මුහුණුවරකින් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම් තත්ත්වය ලාංකේය සහ සාහිත්‍යකරණය තුළ මම නොදකින්නක්. කොටින්ම මාගේ නවකතාව ඩිජිටල්කරණය කොට ලාංකේය පාඨකයා අතට පත් කිරීම්ට මා හට සිහිනයක් තිබුණද ඒ සඳහා සේවය සපයන ආයතන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වීම් කනගාටුවට කරුණක්.

මිනිස්සු තමන්ගේ  සැබෑ ඉතිහාසය වළ දමා ඒ මත ව්‍යාජ ලෙස ප්‍රභූත්වයට පැමිණීම මෙන්ම ඒ ප්‍රභූත්වය රැකගැනීම වෙනුවෙන් තමන්ගේ ලෙය පවා නොසලකා හරින බව ඔබේ ‘ඝර්ම’ හරහා සාකච්ඡාවට ගන්නවා. එවැනි ප්‍රකාශනයකට ඔබව පොලඹවන්නේ කුමන කාරණාද?

මනුෂ්‍යා පොදුවේ ජීවත් වන්නේ වර්තමානයට වඩා අතීතයේය. ඔවුන් මේ මොහොතේ ගෙවන වත්මනට වඩා ආදරය කරන්නේ තමන් ගෙවා දැමූ අතීතයටයි. එම තත්ත්වය මනුෂ්‍යයන් වශයෙන් ඔබටත් මටත් පොදු වුවද ඇතැම් සුවිශේෂී තත්ත්වයන් තුළ මනුෂ්‍යයා තම සැබෑ අතීතයට වෛර කරමින් එම අතීතය රහසේම මරා දැමීම එහි දිගුවක් වශයෙන් දක්නට ලැබෙනවා. ඒ සඳහා මිනිසා හට විවිධ සමාජයීය හේතු බලපාන බව සමාජ විද්‍යාත්මකව පවා තහවුරු කළ කරුණක්.

විශේෂයෙන්ම විදේශගතව ජීවත්වන විට තම අතීතය මරා දමා ඒ තුළ ෆැන්ටසිමය වශයෙන් ගොඩනැඟූ තමන්ට රිසි අතීත සත්ත්වයෙක් තමන් තුළින් මවා ගනිමින් ඒ මත වර්තමානයේ ජීවත්වන මිනිසුන් ඕනෑතරම් අපට හමු වෙනවා. මෙම තත්ත්වය මා දකින්නේ මිනිසා විසින් සමාජය මත තම පය ගසා සිටින වපසරියට කෘත්‍රිමව සමාජානුයෝජනය වීමක් වශයෙන්. එය අතිශය දේශපාලනික කරුණක්. මෙම නවකතාවේ කතා නායකයාගේ මුත්තාගේ චරිතය හරහා මා ගොඩනඟන්නට උත්සාහ කරන්නේ මිනිසාගේ එම සුවිශේෂී පැතිකඩයි.

තීර්ථ වැනි චරිතයක් ඇතැම් විට ඔහුගේම විසංවාදයන් සමඟ ගැටෙන, සරල රේඛීයව නොදිවෙන සංකීර්ණ චරිතයක්. ඔහුට ඔබ එවැනි හැඩයක් දීමට හේතු වූ සාධකය කුමක්ද?

මෙම කතාවේ කතා නායකයා වන තීර්ථ තුළින් මා දකින්නට උත්සාහ කරන්නේ මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයේ පවතින සංකීර්ණතා සමුච්ඡයක් ලෙස විශ්ලේශනයක් කිරීමයි. මෙම නවකතාව කියවන පාඨකයා තීර්ථගේ අභ්‍යන්තරයට පිවිස ඒ තුළින් තමන්වද දකිමින් නවකතාව කියැවීමට පෙලඹවීම මාගේ එක් අපේක්ෂාවක්.

අප ආගමික දර්ශනයක් වෙනුවට, ආගම යම් ආර්ථික හා දේශපාලනින ව්‍යාපෘති සඳහා පාදක වන ව්‍යාපාරවල ගොදුරක් වී තිබෙන බව පැහැදිලි කරන ඔබ අවසානයේ යළිත් ආගමික ව්‍යාපෘතියක්ම ගැටලුවට විසඳුමක් ලෙස ඉදිරිපත් කරන බවක් මෙහි දිස්වෙනවා. එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

මෙම කතාව දිග හැරෙන රිද්මයට අනුව එහි ඇති ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ආගමික ව්‍යාපෘතියක් යොදා ගත්තා යන ප්‍රකාශයට මා එකඟ වන්නේ නැහැ. මෙම නවකතාව පුරාවට ආගම සංස්කෘතික හා දේශපාලනික කේන්ද්‍රයක සිට දකින මුත් කතාව අවසන් භාගයේදී කතා නායකයා සිත සමඟ ගනුදෙනු කරන්නේ කාලතරණය කිරීම මෙවලමක් වශයෙන් ගෙන මිස ආගමික ව්‍යාපෘතියක් හරහා නොවේ. මෙම කතා නායකයා ඔහු කළ යුතුව තිබූ කාලතරණය බටහිර චිත්‍රපටවල හා විද්‍යා ප්‍රබන්ධ නවකතාවල මෙන් නූතන විද්‍යාවේ මූලධර්ම ආශ්‍රිතව ගොඩනඟන යන්ත්‍රයක් මඟින් නොකොට තමන්ගේම සිත උපයෝගි කොට ගනිමින්  කරන ආකාරය දැක්වීම වඩාත් යෝග්‍ය යැයි ඒ මොහොතේ මට හිතුණා.

ඔබ දීර්ඝ කාලයක් රටින් පිටව සිටියත් ඔබේ නවකතාවට පාදකවන්නේ ලාංකේය සමාජයේ පුහු පවුල් මිථ්‍යාවන් සහ අතාර්කික ආගමික විග්‍රහයන් මත පදනම්ව මතුපිටින් සැරව ගලන අපි දකින සමාජයේ පුද්ගලානුබද්ධ තිත්ත. මීට වඩා විනෝදකාමී සමාජ රටාවක් ගැන ඔබට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති. එවැන්නක් පාදක කරගත් සාහිත්‍යය කෘතියකට නොයා තියෙන තුවාලයම පාරන්න හිතුවෙ ඇයි?

වඩාත් භෞතිකව දියුණු බටහිර රාජ්‍යයන්හි ජීවත් වුවද ඒ රටවලට සංක්‍රමණය වන්නන් ආගන්තුක සමාජය සමඟ අර්ධ වශයෙන් සමාජානුයෝජනය වුවද අඩු දියුණු සමාජ තුළ ඇති තුවාල ඔවුන් තුළ තවමත් බහුලව දක්නට ලැබීම පොදු තත්ත්වයක්. එම හේතුව නිසාවෙන්ම පැරණි තුවාලයම වුවද අලුත් දෘෂ්ටිකෝණයකින් පාරන්නට උත්සාහ කිරීම ලාංකේය සමාජය යම් පෙරළියකට සූදානම් වන මොහොතේ වඩාත් උචිත බවයි මගේ හැඟීම වුණේ.

ඔබ කාලෙකට පස්සෙ ලංකාවට ආවෙ. ඒත් ලංකාවෙ සිටිය කාලය තුළ සෑහෙන කාලයක් ගෝල්ෆේස් අරගලය එක්ක ගෙව්වෙ. ඒ වගේම ඔබේ නවකතාව මුලින්ම පිරිනැමුවෙත් ගෝඨාගෝගම පුස්තකාලයට. එයින් ඔබ අතිරේක ජනප්‍රියත්වයක් අපේක්ෂා කළාද?

අරගලය කියා කියන්නේම පොදු හැඟීමකට. එම හැඟීම ජීවිතයේ සෑම කාලයකදීම මනුෂ්‍යයාට අත් විඳින්න ලැබෙන්නේ නැහැ. මින් ප්‍රථම ලංකාවේ පැවැති විරෝධතා ආයුධ සන්නද්ධ ආරගලවල පවා මා ඉහත කී පොදු සාධකය දක්නට ලැබුණේ නැහැ. එහිදී අපි අත්වින්දේ දේශපාලන පක්ෂයක් හෝ කුඩා කණ්ඩායමක මතයක් පමණයි. නමුත් ගෝල්ෆේස් අරගල භූමිය පෙර අත්දැකීම්වලට වඩා බෙහෙවින් වෙනස තලයේ මනුස්ස සුවඳ පිරි ගොමුවක්. ඒ තුළ පොදු ජනයාගේ ‘පොදු අභිලාශය’ මා එහි ගිය මොහොතේ පටන් අත්වින්දා. එය මා සිත දේශපාලනිකව කුල්මත් කරවීමට සමත් වූවා. කොටින්ම විදේශගතව සිට අහම්බෙන් වුවද එම ඓතිහාසික අරගලයට යම් ශක්තියක් වීමට ලැබීමත් මා ජීවිතයේ ලද භාග්‍යයක් කොටයි මා සලකන්නේ.

මාගේ නවකතාව වෙත පාඨක අවධානය දිනා ගැනීමට නම් මාහට තවත් බොහෝ විකල්ප මාර්ග තිබුණා. නමුත් හදවතට අවංකව කරන කලා නිර්මාණයක් එවන් පටු පරමාර්ථයකින් කිලිටි කිරීමට මා හට අවශ්‍යතාවක් නැහැ. කොටින්ම මාගේ නවකතාව උත්සවයක් මධ්‍යයේ සැණකෙළි සිරියෙන් එළිනොදක්වා සිටින්නට මා තීරණය කළේ ඒ මොහොතේ රටේ පැවැති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන්. මිනිසුන් කන්න බොන්න නැතිව මිරිකෙද්දී මාහට පොතක් වෙනුවෙන් උත්සවයක් ගැනීමට සිත් දුන්නේ නැහැ. නමුත් අරගල භූමියේ ඒ මොහොතේ ඉදිවෙමින් තිබූ පුස්තකාලය මාගේ සිත් ඇද ගන්නට සමත් වුණා. තරුණයන් මහ පොළොව මත හිඳගෙන ආසාවෙන් පොත් කියවන දසුනම මාගේ සිත පිරවූවා. එම හේතුව නිසා මාගේ කුලුඳුල් නවකතාව අරගල භූමියට පැමිණෙන පොත් කියැවීමේ රිසි පොදු ජනයා වෙත පිදීමම මාගේ නවකතාවට කළ සුදුසුම සාධාරණය ලෙසයි මා දකින්නේ.

සංලාපය – නිශ්මං රණසිංහ