ශ්‍රී ලනිප-හකීම්-මනෝගේ මනාපය ඩලස්ට

0
16

අනුප්‍රාප්තික ජනාධිපති ඡන්ද විමසීමේදී සිය සහාය ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාට දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි. පාර්ලිමේන්තු කණ්ඩායම හා මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙසේ ඩලස් අලහප්පෙරුමට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර ඊයේ (19දා) පැවැසීය.

ඒ අනුව නවදෙනෙකුගෙන් සමන්විත ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ සහාය අලහප්පෙරුමට ලැබෙන බව ජයසේකර කීය.

රට පත්ව ඇති ඉරණමෙන් බේරාගැනීමට හොඳම තෝරාගැනීම ඩලස් අලහප්පෙරුම යැයි කී හෙතෙම ඊට සිය පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි අවධාරණය කළේය.

අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමමින් අලුත් ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අරමුණෙන් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළේ යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් ඊයේ (19දා) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවක් සඳහා දැනටමත් සම්මුතියක් ඇතැයි කී හෙතෙම අන්තර්කාලීන ආණ්ඩුකරණයේදී 19 වැනි සංශෝධනයට සමාන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරමින් රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමටද කටයුතු කළ යුතු යැයි කීය.

තමන් ගාලුමුව‍ෙදාර අරගලකරුවන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ආණ්ඩුකරණය නිරීක්ෂණයට ඔවුන්ට අවස්ථාව දෙන්නේ යැයිද රට වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම්වලට සූදානම් යැයිද රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

මේ අතර මනෝ ගනේෂන් මන්ත්‍රිවරයාගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයද සජිත් ප්‍රේමදාස මහතාට සිය සහාය දෙන්නේ යැයි ඊයේ (19දා) නිවේදනය කළේය.

මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු පෙරමුණ සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ ක¾දුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමන්විතය.

කොළඹ, නුගේගොඩ ඒකනායක මාවතේ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වූ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබිණි.

අනුරාධා හේරත්, සවනි ශේශාධි, සඳුනි ගමාරච්චි