වැලිකන්දේ වෙළෙඳසල් හා නිවාස බිඳ දේපළ මුදල් සොරාගත් අයියයි – මල්ලියි අත්අඩංගුවට

0
28

පොළොන්නරුව, වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ නිවාස දෙකක් සහ වෙළෙඳසල් දෙකක් බිඳ දේපළ සහ රත්රන් බඩු මෙන්ම මුදල් සොරාගෙන පලාගොස් සැඟව සිටි අයියා, මලෝ දෙදෙනකු ඊයේ (19දා) සවස අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්දකඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 හා 25 වයසේ පසුවන සිවිල් යුද හමුදා අංශයේ නිලධාරීහු සහ සිවුරු හැර ගිය අයකු බවද පරීක්ෂණය කරන පොලිසිය පවසයි.

වෙළෙඳසල බිඳ රුපියල් එක්ලක්ෂ අසූ හතර දාහක් වටිනා රන් භාණ්ඩ, ජංගම දුරකථනයක්, ෆෝන් කාඩ් ඇතුළු රුපියල් 2,37,970ක දේපළ සොරාගෙන ඇති බව පරීක්ෂණ කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

එසේම අනෙක් නිවාසය සහ වෙළෙඳසල බිඳ එහි තිබූ ජංගම දුරකථන දෙකක් රුපියල් 69,000 මුදලක් සහ තවත් දේපළ රැසක් රැගෙන ගොස් සැඟව සිට ඇති බවත් සොරාගත් සියලු මුදල් සහ දේපොළ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවැසීය.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි ශානක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා නඩු භාණ්ඩ සමඟ (20දා) පොළොන්නරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

මනම්පිටිය – නිමල් ජයරත්න