ලංකාවේ ආර්ථිකය දැඩි අනතුරක

0
176

ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ස්ටීව් හැන්ක් මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ලංකාවේ ආර්ථිකය දැඩි අවදානම් අදියරක පසුවෙන බව ප්‍රකාශ කළේය. ඒ මහතා කියා සිටියේ පසුගිය මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා අනුගමනය කළ නවීන මූල්‍ය න්‍යාය නිසාවෙන් ලංකාවේ ආර්ථිකය දැඩි අවුල් ජාලයකට පත්ව ඇති බවත් එම න්‍යාය නිසාවෙන් ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් එම න්‍යායේ තෙරපීමට ලක් වෙමින් ඇති බවයි.

මෙම අවුල් ජාලයෙන් අත්මිදීමට නම් හැකි ඉක්මනින් මුදල් මණ්ඩලයක් ස්ථාපිත කර ඒ තුළින් මේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බවයි. තවදුරටත් ඒ මහතා කියා සිටියේ, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකරයට උද්ධමනය පාලනය වෙමින් පවතින බවයි. නමුත් එතුමා අනතුරු අඟවමින් කියා සිටින්නේ එය මුළාවක් බවත් වසරක් තුළ 115%කින් උද්ධමනය ඉහළ ගිය අතර එය ව්‍යාජ නිල අනුපාතය මෙන් දෙගුණයක් බවයි.

තවද පසුගියදා වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා BBC පුවත් සේවයේ Newsnight වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත හැකිද යන්න පිළිබඳව “දැඩි අවිනිශ්චිතතාවක්” පවතින බවය. තවදුරටත් අදහස් දැක්වූ එතුමා මෙසේ ප්‍රකාශ කළේය.

“අපට ඩීසල් නැව් තුනක් සහ පෙට්‍රල් නැව් එකක් හෝ දෙකක් සඳහා මුදල් යෙදවීමට හැකි වී වුණා. නමුත් ඉන් ඔබ්බට රටට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ගෙන්වීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට අපට හැකිවේද යන්න ගැන අවිනිශ්චිතතාවක් තියෙනවා.

එහෙම නොවුණොත් මුළු රටම වහලා දානවා වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකයි මට ඕන තීරණ ගන්න පුළුවන් අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, කැබිනට් එකක්. එහෙම නැතිවුණොත් ඔක්කොම මිනිස්සු දුක් විඳීවි.”

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවලින් හොඳ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

නමුත් එම ක්‍රියාවලිය සඳහා ගත වන කාලය රඳා පවතින්නේ, කොපමණ ඉක්මනින් ස්ථාවර පරිපාලනයක් ඇතිවේද යන්න මත බව ඔහු පෙන්වාදී ඇත. වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ස්ථාවර රජයක් ස්ථාපනය වූ පසු, ශ්‍රී ලංකාවට “මාස තුන හතරක් හෝ පහක් ඇතුළත” කොතැනින් හෝ අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

මහබැංකු අධිපතිවරයා නව ජනාධිපතිවරයකු විය හැකි බවට පෙනී ගිය බවට ප්‍රකාශ පළ වුවද ඔහු එය ප්‍රතික්ෂේප කරන බව පෙනී ගියේ, “මට කිසිම දේශපාලන තනතුරක් ගැනීමට අවශ්‍ය නැත” යනුවෙන් පැවැසීමෙන් පසුව බව BBC පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

වත්මන් දේශපාලන අස්ථාවරත්වය අද දිනයේ පාර්ලිමේන්තුව තුළින් නීත්‍යනුකූලව විසඳීමෙන් පසු, නිවැරැදි දැක්මක් සහිත නායකත්වයක් තුළින් ගෝලීය වශයෙන් අපට සහයෝගය ලැබී මෙම තත්ත්වයෙන් අත්මිදීමට හැකිවනු ඇතැයි සුබදායක බලාපොරොත්තුවක් අප සතුය.

නුවන් බඹරැන්දගේ