රනිල්ද අනුරද ඩලස්ද

0
150

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීමේ පළමු ඡන්ද විමසීම අද (20දා) පැවැත්වේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකුගේ නම්යෝ ජනා වීම නිසා මෙම ඡන්ද විමසීම පැවැත්වේ. ඒ අනුව වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් ඊයේ (19දා) පාර්ලිමේන්තුවට යෝජනා විය.

සභානායක දිනේෂ් ගුණවර්ධන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර විසින් එය ස්ථීර කරනු ලැබීය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කරනු ලැබූ විට එය ස්ථීර කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයා විසිනි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සිය පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් එය ස්ථීර කරනු ලැබුවාය.

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ නාමයෝජනා භාරගැනීම සඳහා ඊයේ රැස් වූ පාර්ලිමේන්තුව විනාඩි දහයකට සීමා වූ අතර යෝජනා වූ නම් තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කළේය.

ඉන්පසු සභානායක දිනේෂ් ගුණවර්ධන අද (20දා) පෙරවරු 10.00 දක්වා පාර්ලිමේන්තුව  කල් තැබුවේය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඡන්ද විමසීම පැවැත්වෙන අතර එහිදී ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය මන්ත්‍රිවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තබයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරන මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වෙයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රිවරයාගේ නම අඬගසන අතර එවිට එම මන්ත්‍රිවරයා තේරීම්භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි.

එවිට එම මන්ත්‍රිවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමඟ කෙටි අස්සන යොදන අතර ඉන්පසු මන්ත්‍රිවරයා සභාගැබේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කර තේරීම්භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

එක් මන්ත්‍රිවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි ”1” යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කරයි.

අපේක්ෂකයන් කිහිපදෙනකු සිටින විට මනාප සලකුණු කිරීමටද අවස්ථාව ඇති අතර ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාප අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකිය.

නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රිවරයකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවැනි වරටත් අඬ ගසන අතර එහිදීද එම මන්ත්‍රිවරයා ඡන්දය නොදී සිටියහොත් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටියා ලෙස සැලකේ.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කළ මනාප සංඛ්‍යාව ගණන් කෙරෙන අතර ඡන්දය ගණන් කරන ස්ථානයට යම් අපේක්ෂකයකුට හෝ ඔහුගේ නියෝජිත මන්ත්‍රිවරයකුට යා හැකිය.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා තැනැත්තා ජනාධිපති ධුරයට තෝරාගැනෙන අතර එසේ දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු නොගත් විට අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කර එම අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රිවරයාගේ දෙවැනි මනාපය අදාළ අපේක්ෂකයාට එකතු කරයි.

එසේ කොටත් කිසිම අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවැනි, තෙවැනි යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කරයි.

එසේ කොටත් කිසිම අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි මනාප ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව තේරීම්භාර නිලධාරියා ප්‍රකාශයට පත් කරයි.

එසේම අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු අතර ඡන්ද සමාන වූ විට තේරීම්භාර නිලධාරියාගේ අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදුවේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහ ලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය.

ඒ අනුව අද (20දා) පත්වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරාගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයාය.

බිඟුන් මේනක ගමගේ, අනුරාධා හේරත්