රට හදන සැත්කම

0
52

1989 වසරේ දෙසැම්බර් 22 වැනිදා රුමේනියානු ජනතාව අසූදාහක් අගනගරය වෙත රැස්වෙමින් සිටියා. ඒ රුමේනියාවේ අසහාය නායකයා වූ ජනාධිපති නිකොලායි සියසෙස්කු (Nicolae Ceausescu) ගේ කතාව අසන්නට එන්න කියා කළ නියෝගයට අනුවයි.

ඇත්තටම රුමේනියාවේ කොමියුනිස්ට්  පාලනය විසින් ජනතාව හිර කරගෙන  සිටියා. නිකොලොයිගේ පාලනය අතිශය දරදඬු එකක් වුණා. ඒ පාලනය විසින් ජනතාව දරුණු ලෙස පෙළා දමමින් සිටියා.

කළු පර්සියානු බැටළු සමින් නිමවුණු දිග කබායක් සහ තොප්පියකින්ද සැරැසීගත්  නිකොලායි කතාව ආරම්භ කළා. ඔහුට අලංකාර වචන තිබුණා. හැබැයි ඔහු වැඩ කළේ අතිශය දරුණු පාලකයෙක් විදිහට.

ඇත්ත වශයෙන්ම ඒ වෙනකොට සෝවියට් දේශය පවා බිඳ වැටෙමින් තිබුණා. එහෙත් නිකොලොයි හිතුවේ තමන්ගේ බලයට ජනතාව වහලුන් මෙන් වන්දනා කරමින් ඉන්නවා කියලයි.

“සමාජවාදී යුරෝපීය රටවල කොමියුනිස්ට් පාලනය දැන් නැතිවී යමින් තිබුණා. හැබැයි  රුමේනියාවේ කොමියුනිස්ට් පාලනය ඉතාමත්ම ශක්තිමත්. මේ රටේ පාලනය එසේ බිඳවැටෙන්නේ නැහැ. එයට මා ඉඩ තියන්නේ නැහැ. රුමේනියාවේ ස්වාධීනත්වය අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීමට මම හැමවිටම කටයුතු කරනවා. ඔබ සැමගේ යහපත් අනාගතය වෙනුවෙන් මම කටයුතු කරනවා කියලා පොරොන්දු වෙනවා. නිකොලායි සියසෙක්කු දිගින් දිගටම කියාගෙන ගියා. හැබැයි විනාඩි දෙක තුනක් කතාව කරගෙන යනවාත් සමඟම ජනතාව අතරින් යම් නොසන්සුන්තාවක් ආරම්භ වෙන්න ගත්තා.

“හූ හූ”

ජීවිතයේ කිසිදාක හූවක් නෑසූ මහා පාලකයා භීතියට පත්වුණා. හූව දෙගුණ තෙගුණ වුණා. අසූදාහක් නොනැවතී හූව සිදුවුණා.

නිකොලොයිගේ බිරිය පවා හූව නතර කරන්න මැදිහත් වුණා. නමුත් ජනතා විරෝධය නොනැවතී රැල්ලක් වුණා.

නිකොලායි සියසෙස්කු ‘හලෝ හලෝ’ යැයි කෑගසමින් මයික්‍රෝෆෝනයට පහර දෙමින් “නිහඬ වෙනු” යැයි ඉල්ලා සිටියා. එහෙත් ජනතාවගේ ‘හූ හඬ’ තව තවත් ප්‍රබලයි. නිකොලායිගේ බිරිය වන රුමේනියාවේ උප අගමැති ධුරය දැරූ එලීනාද ‘නිශ්ශබ්ද වෙයල්ලා’ නිශ්ශබ්ද වෙයල්ලා’ යනුවෙන් කෝපයෙන් කෑ ගැසුවා.

එහෙත් ඒ කිසිවකින් පලක් නොවීය. නිකොලායි ආරක්‍ෂක අංශවලට නියෝග කළේ විරෝධතා නඟන ජනතාව මෙල්ල කිරීමට යුද හමුදාව සහ පොලිසිය පැමිණ ජනතාවට බැටන්පොලු සහ ක¾දුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කළා. යුද ටැංකි පැමිණ ජනතාව දෙසට ධාවනය කරමින් ජනතාව එළවා දමන්නට වුණා.

නමුත් බොහෝ හමුදා භට පිරිස් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට මැළිවුණා. ඔවුන්ටත් නිකොලායි එපා වෙලා තිබුණා. ඒ අතර ආරක්‍ෂක හමුදා බහුතරය ජනාධිපතිවරයාගේ පාලනයට විරුද්ධව හමුදා කුමන්ත්‍රණයක් දියත් කළා. තත්ත්වය දින දෙකක් යන විට අතිශයම ප්‍රබල වුණා. හමුදාව විසින් ජනාධිපති මැ¾දුර වටලා ජනපති යුවළ අත්අඩංගුවට ගත්තා.

රුමේනියාවේ ජනතාව තමන්ගේ අරගලය ආරම්භ කළේ හූවකින්. ඒ හූව මහා බලගතු ආණ්ඩුවක් පෙරළා දැමුවා.

ඇත්තටම එදාට වඩා අද මිනිසුන්ගේ බලය අතිශයින් ප්‍රබලයි. ජනතා බලය කියලා කියන්නේ අනිත් සියලු බලයන්ට වඩා බලගතු බලයකට. ඒ තත්ත්වය අද වන විට ලෝකයේ බොහෝ රටවල්වල ඔප්පු වෙලා තියෙනවා.

එහෙම ඔප්පු වෙච්ච ආසන්නම රට තමයි ලංකාව. ඇත්තටම මෙතැන් සිට ලංකාව ගොඩනැඟීම අසීරු සැත්කමක් කරනවා වගේ කටයුත්තක්. නමුත් ඒ සැත්කම සිදු කොට මේ රට ගොඩනැඟිය යුතුමයි. එය සැත්කම කරන්න සුදුසු වෛද්‍යවරුන් සොයා ගැනීමත්. ඒ ඒ වෛද්‍යවරුන්ට සැත්කම ඒ කටයුත්ත භාර දීමත් ජනතාව සතු වගකීමක් සහ යුතුකමක්.