මෙරට ප්‍රථම නිර්ප්‍රභූ ජනාධිපති ලෙස ඩලස් පත්වෙන බව විශ්වාසයි

0
23

ශ්‍රී  ලංකාවේ ප්‍රථම නිර්ප්‍රභූ ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරරුම මහතා පත්වනු ඇති බව ස්වාධීන පක්ෂ එකමුතුවේ නායක ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

සර්වපාක්ෂික ආණ්ඩුව නමැති යාත්‍රාව නිශ්චිත ගොඩබිමකට ඔහු රැගෙන යනු ඇතැයිද විමල් වීරවංශ මහතා කීය.

ඊයේ 19දා ස්වාධීන පක්ෂ එකමුතුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීවේය.

“අපි එදා ඉඳන්ම කියපු දෙයක් තමයි සර්වපාක්ෂික එකඟතා පාලනයක් ගොඩනැඟිය යුතුයි කියන දෙය. අපි සර්වපාක්ෂික සමුළු කැඳවන්න කිව්වේ නැහැ. මහජන විශ්වාසය දිනාගන්නට අවශ්‍යයි පත්වන ආණ්ඩුවක්. අපි එදා කියපු දෙය බොහෝ අය පිළි ගත්තේ නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇවිත් කැබිනට් මණ්ඩල හැදුවට මහජන විශ්වාස ඇතිවන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහත් මේ අර්බුදයේ නිර්මාණකරුවෙක්.

ඩලස් අලහප්පෙරුමට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එම අපේක්ෂකත්වයෙන් ඉවත් වීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජී.එල්. පීරිස් මහතාටත් අප ස්තුතිවන්ත වෙනවා. ඔහුයි ඩලස් අලහප්පෙරුමගේ නම ස්ථීරර¤ කළේ. රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදෙන්න හිටපු විශාල පිරිසක් ඒ නිසා තම තීරණය පිළිබඳ නැවත සිතා බලන්නට කටයුතු කරයි. ඩලස් අලහප්පෙරුම ජනාධිපති වන විට සජිත් ප්‍රේමදාසත් බලවත් තනතුරකට යයි.

අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණටත් තමන් විතරක් පිරිසුදුයි කියලා කියාගන්නැතුව අනුර දිසානායක මහත්තයටත් ආරාධනා කරනවා ඔබේ වටිනා ඡන්ද තුන ඩලස් වෙනුවෙන් පාවිච්චි කර මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වෙන්න කියලා. මේක බෙදිලා යන්න පුළුවන් ගමනක් නෙවෙයි. රටේ මහජනතාව ඉල්ලන්නේ අපගේ එකමුතුවයි. අපි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලන්නේ ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පත්කරගෙන සර්ව පාක්ෂික පාලනයකට ඉඩ හරිමු.

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ අදහසුත් එකතු කර ගන්නා පාලනයකුයි මේ පිහිටුවන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශිික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුව විසින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දැක්වීම මේ දශකයේ ලොකුම විහිළුවයි. ඇයි අපි එහෙම කියන්නේ, මේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු 2015දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුවක් හැදුවයි කියලයි.

2016දී පොහොට්ටුව කියලා පක්ෂයක් පිහිටුවන්නේම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්න. 2018 රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරෙන් එළවන්න පොහොට්ටුව විශ්වාසභංග යෝජනාවක් ගේනවා. ඒ විතරක් නෙවෙයි 2018 මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා දින 52 ආණ්ඩුව හදන්නේ අගමැති රනිල් ධුරයෙන් එළවන්න.

2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට එරෙහිව පොහොට්ටුව ඉදිරිපත් කළ ලොකුම තර්කය තමයි සජිත් ජනාධිපති වුණොත් අගමැති වෙන්නේ රනිල් කියන එක. එහෙම නම් මේ පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරය කෙතරම් ප්‍රබලව සමාජය පිළිගත්තාද කියලා කියනවා නම් අවුරුදු හතළිස් තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙදර යවන්න මේ රටේ ජනතාව තීරණය කළා විතරක් නෙවෙයි එතුමාට මේ රටේ කිසිම දිස්ත්‍රික්කයකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට එතුමාගේ පක්ෂයට මන්ත්‍රි ධුරයක් ලබා නොදෙන බවට මේ රටේ ජනතාව වග බලාගත්තා.

 අර පොහොට්ටුව කිව්ව කතාව රටේ ජනතාව පිළිඅරගෙන.

දැන් මොකද වෙන්නේ, ජනතාව මන්ත්‍රි ධුරයක්වත් ලබානොදී ප්‍රතික්ෂේප කරපු රනිල්ව දැන් පොහොට්ටුව ගිහිල්ලා රටේ තියෙන උත්තරීතරම තනතුර වන ජනාධිපති ධුරයේ වාඩි කරන්න හදනවා. 2015 සිට ධනය ශ්‍රමය කාලය වැයකරලා මේ මහා ව්‍යාපාරයක් මහපොළොව් කරපු එක අද නිශ්ඵල වෙනවා. එහෙම කරලා ගෙදර යවපු රනිල්ව පොහොට්ටුව ආපහු ගෙනැල්ලා නැවතත් ජනාධිපති පුටුවේ වාඩි කරවනවා. ඊට වඩා ලේසියි දෙයියනේ කියලා රනිල් මහත්තයෝ ඔයා ඔය කරගෙන යන විධියට කරගෙන යන්න කියලා පොහොට්ටුවත් හදන්නේ නැතිව මහ පාරේ පාගමන්, උද්ඝෝෂණ සියල්ල කරන්නේ නැතිව පැත්තකට වෙලා හිටිය නම්. එහෙනම් අදත් රටේ ජනාධිපති තනතුරේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි.

එතුමාගේ 43 වසරක පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම තියෙන්නේ අසමත්කම. එතුමා තමයි ශ්‍රී  ලංකා දේශපාලන ඉතිහාසයේ අසාර්ථකත්වයේ සංකේතය. මේ රට මුහුණදෙන දැවැන්තම අර්බුදයට මුහුණ දීලා තියෙන වෙලාවේ අසාර්ථකත්වයේ සංකේතය ගෙනැල්ලා ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් මං හිතන්නේ ඒක මේ රටේ ජනතාවට කරන දැවැන්ත නිග්‍රහයක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රශ්න උඩ වාඩිවෙලා ඉන්න හරිම සූරයා. එතුමා මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නේ පුපුරන්න ඔන්න මෙන්න කියලා තියෙන දැවැන්ත ගිනිකන්දක. ඉතින් මේ දැවැන්ත ගිනිකන්ද යළි පුපුරා ගිහිල්ලා, මුළු රටම ලේ විලක්, ගිනි ගොඩක් බවට පත් කරන්න එපාය කියන ඉල්ලීම අපි පොහොට්ටුවේ නායකයන්ගෙන් ඉල්ලනවා.

ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ

අප රට ඉතා අන්තරාදායක තත්ත්වයකින් බේරීමට මාර්ගයක් උදාවෙලා තිබෙනවා. ඩලස් සහෝදරයා මේ රටට විශාල වැඩක් කරන කෙනෙක්. ඔහු අද අනිවාර්යයෙන් දිනනවා. මම සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලනවා රට මෙම අනතුරින් බේරා ගැනීමට සහයෝගය දෙන්න.

රනිල් වික්‍රමසිංහ නැවත බලයට ආවොත් රටට හානිදායක ගිවිසුම් සියල්ල අස්සන් කරයි. සෝෆා, ආක්සා වැනි ගිවිසුම් නැවත බලාත්මක වීම අප වැළැක්විය යුතුයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල

මේ දශකයේ ලොකුම විහිළුව පොහොට්ටුවේ මන්ත්‍රින් පිරිස රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීම වෙනුවෙන් සහාය දීමයි. මේ අය 2016 ශ්‍රී ලනිපයෙන් එළියට ආවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුවක් හැදුවා කියලායි. පොහොට්ටුව පක්ෂය පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහ එළවන්නයි.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි

අපි සමඟි වීමෙන් මෙම ප්‍රශ්නවලට උත්තර සෙවිය හැකියි. සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පය අප ඉදිරිපත් කළා. එය අද සාර්ථක වී තිබෙනවා. මහජන නැඟිටීමක් රටේ සිදුවුණා. ඒ නිසයි හිටපු ජනාධිපති ගෝඨාභය මහතාට ධුරයෙන් ඉවත් වෙන්න වුණේ. මෙවැනි එකඟතාවකට එන්න පුළුවන් වුණේ එම ජනතා නැඟිටීම නිසයි.

අරගලයේ තරුණයන්ට පහරදීලා මේ කටයුතු නවත්තන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක එහෙම නැහැ. තවත් විනාශයක් සිදුවෙයි. එහෙම වුණොත් අර 71/88/89 වගේ තත්ත්වයකට රට යන්න දෙන්න බැහැ. සර්වපාක්ෂික ජාතික සම්මුතියකුයි අවශ්‍ය වෙන්නේ. ඒ තීන්දුව අද සඵල වී තිබෙනවා. තෙල් පෝලිම්වලට ගෑස් පෝලිම් නවත්වන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනප්‍රසාදයක් ඇති කෙනකු නෙවේ.

ඩලස් අලහප්පෙරුම කියන්නේ සාම්ප්‍රදායික විධායක ජනාධිපති කෙනෙක් නෙවේ. ඔහු ජාතික එකඟතාවක නායකයෙක්.

ශ්‍රී  ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ

රටේ අනාගතය තීන්දු කරන්න අද ජනතාව විසින් 225කට බලය පවරලා තිබෙනවා. පළමුවැනි වතාවටයි එහෙම දෙයක් මේ රටේ වුණේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ අසමත් කරන්න කටයුතු කළ කණ්ඩායම රනිල් වික්‍රමසිංහව බලයට ගෙන එන්නට කටයුතු කරමින් තිබෙනවා. ළිං මැ¾ඩි දේශපාලනෙන් මේවා විසඳන්න බැහැ. මේක අපි හරියට කියවා ගත යුතුයි.

ඊට විසල් මනසකින් බලන නායකයෙක් අවශ්‍ය වෙලාවක් මේක.

විකල් මනස තිබෙන දේශපාලන සංස්කෘති රටට අවශ්‍ය නැහැ. මේ රටේ මූලික ප්‍රශ්නවලට හරි ප්‍රවේශයක් දෙන්න රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා නැහැ.

මා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලනවා මේ ගමන යන්න මැදිහත් වෙන්න කියලා.

යුතුකම ජාතික සංවිධානයේ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග

අපි අමාරුවෙන් ගොඩනැඟූ ආණ්ඩුව 20 සංශෝධනය වැනි වැරදි ක්‍රියා සිදුකරද්දී ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන්න විශාල වෙහෙසක් දැරුවා. මේක බෙදීම සඳහා වේලාවක් නොවේ. ඒ වගේම ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා කළ කැපකිරීම  අගය කරනවා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ඩලස් මහතාව ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සහාය දුන්නා. එයට අපි ස්තුතිවන්ත වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පවා ඩලස් අලහප්පෙරුම පිළිබඳව මෙම පාර්ලිමේන්තුවේ සුබවාදීව අදහස් දක්වලා තිබෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණටත් ඩලස් අලහප්පෙරුම මහතා සමඟ එකඟතාවකට පැමිණිය හැකියි. අපි බැගෑපත්ව ඉල්ලනවා මේ කාර්යයට දායක වන්න. මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හා එක්වන්න රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙලාවේ රට තුළ බෙදීම් ඇති කළ යුතු නැහැ. බෙදීම් දුරලා සර්වපාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයකු වන්න.

ශ්‍රී  ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න

ඩලස් අලහප්පෙරුම මහතාව ජනාධිපති කිරීම වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියලා මම ආරාධනය කරනවා. තම දේශපාලන පක්ෂයේ වුවමනාවට ඡන්දය දෙන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය