මැදිරිගිරිය ඉන්ධනහලේ කලබල මැඬලන්න අහසට වෙඩි

0
27

පොළොන්නරුව මැදිරිගිරිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසල ඇති වූ කලහකාරී සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මැදිරිගිරිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසල දින ගණනක් රැඳී සිටි දෙපිරිසක් අතර පෙරේදා (18දා) ඇති වූ කලහකාරී තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බවද එසේ හැසිරුණු පුද්ගලයන් තිදෙනකු බරපතළ තුවාල ලබා මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මැදිරිගිරිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන සංචිත රාත්‍රි 8.00න් පසු අවසන් බව ඉන්ධන පිරවුම්හලෙන් දැනුම්දීමත් සමඟ පෝලිමේ රැඳී සිටි පිරිස ප්‍රකෝපකාරීව හැසිරෙමින් තමන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූයේ උදෑසන කාලය සිට රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් බව පවසමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ජී. විතානගේ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

නොසන්සුන්තාව හටගැනුණේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිය නිල ඇඳුමින් සැරසී ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීමත් සමඟය.

එම අවස්ථාවේදී ඉන්ධනහල් නිලධාරියකු  විසින් ප්‍රමාණවත් පරිදි ඉන්ධන පවතින බවට නිවේදන නිකුත් කෙරූ අතර පෝලිමේ රැඳී සිටි පිරිස් අතර පැවැති නොසන්සුන්තාව මඟහැරුණි.

මැදිරිගිරිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලට එල්ල කළ ගල් ප්‍රහාර නිසා පෙට්රල් ගෙන්වීම තාවකාලිකව නතර කළ බවද ඉන්ධනහල් කළමනාකාරිත්වය පෝලිමේ සිටි පිරිසට මෙහිදී දැනුම්දීමටද කටයුතු කළේය.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ජී. විතානගේ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මනම්පිටිය _ නිමල් ජයරත්න