මහජන බැංකුව යළිත් වරක් ‘ද බෑන්කර් ලොව විශිෂ්ටතම බැංකු 1,000’ අතරට

0
153

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත්  ද බෑන්කර් (The Banker) සඟරාව විසින් යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1,000 අතරට ඇතුළත් කර තිබේ. මෙම ශ්‍රේණිගත කිරීමත් සමඟින්, ලොව ප්‍රමුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව ගොඩනඟා ගෙන ඇති ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වෙයි.

ලන්ඩන් නුවර Financial Times විසින් 1926 වසරේ සිට ප්‍රකාශයට පත් කරන The Banker සඟරාව  රටවල් 180ක් වෙත බෙදා හැරේ. ප්‍රධාන වශයෙන් ඒකාබද්ධ ස්ථර 1 ප්‍රාග්ධනය (Consolidated Tier 1) පදනම්ව විශිෂ්ටතම බැංකු 1,000 ශ්‍රේණිගත කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘අප ගත කරමින් සිටින්නේ කොවිඩ් – 19 වසංගතයෙන් පසු එල්ල වූ අහිතකර බලපෑම් ඇතුළුව විවිධ දුෂ්කරතාවයන්ට රට මුහුණ දෙමින් සිටින කාලයක්. මෙවන් අභියෝගාත්මක වටපිටාවක් මධ්‍යයේ මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1,000 අතරට එක් වීම අප ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක්. ඉතාමත් අසීරු කාලවලදී පවා බැංකුව අඛණ්ඩව සහ ශක්තිමත්ව සිය සේවාවන් පිරිනැමීම මෙමඟින් පිළිබිඹු වන අතර, දේශීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් අපගේ ස්ථාවරත්වයද තහවුරු වනවා. අනාගතය දෙස බැලූ කළ, ඇති විය හැකි අභියෝග රැසක් මධ්‍යයේ වුවත් රජය ගන්නා සෑම උත්සාහයකදීම ඊට සහාය ලබාදීමටත්, රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට මහජන බැංකුව හැකි සෑම පියවරක්ම ගන්නවා.’  

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා ‘ශ්‍රී ලංකාව සහ බැංකු පද්ධතිය මේ වන විට පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. එවැනි තත්ත්වයක් මධ්‍යයේ යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1,000 අතරට එක්වීමට ලැබීම තුළින්, මහජන බැංකුවේ ශක්තිය සහ ස්ථාවරත්වය මනාව තහවුරු වෙනවා. අනාගතය දෙස බලා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත්, සෙසු තීරණාත්මක වෙළඳපොළ කොටස්වලටත් සහාය ලබාදීම සඳහා අප සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. අප ව්‍යාපාරයේ සියලුම ප්‍රධාන අංශ නව තාක්ෂණයෙන් බලගැන්වීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතර, බැංකුවේ සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා.’