මගේ දුව හෝමාගම ජනාධිපති විදුහලේ හතර වසරේ ඉගෙනුම ලබනවා ඇයත් ගාල්ලේදී මෙම මෝටර් රියට ගොඩවුණා

0
53

පැතුම්ගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීම කළුවැල්ල පල්ලියේ තියෙනවා. උත්සවය තියෙන්නේ කොළඹ. මංගල උත්සවයට සහභාගිවීම සඳහා සවස කොළඹ යන බව එදින උදෑසන මියගිය දියණිය මට දුරකථනයෙන් කතා කොට කීවා යැයි ගාල්ල, මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ කාර් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් මියගිය නවමස් ගැබිනි මවකගේ හා අට හැවිරිදි දියණියගේ හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් හෙම්බතන්ත්‍රිගේ සුදිරා විලාස්මි (55) නමැත්තිය පැවැසුවාය.

අතුරුලිය ලියනආරච්චිගේ ෂාඩිලා හංසි (29) නමැති මකුළුව, උඩගම පාරේ, ලකී විජේරත්න ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනි මවක හා කිරිවත්තුඩුව, හෝමාගම පදිංචිව සිටි නුවන්න්‍යා උත්සරි දිසානායක අට හැවිරිදි දැරියක මෙම අනතුරින් මියගිය අතර ගාල්ල, මකුළුව, ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු හැඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී කාර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේදී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෝටර් රථය පදවා ඇත්තේ මියගිය ගැබිනි මවගේ සැමියා බව හදිසි මරණ පරික්‍ෂණ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය. ගාල්ල, කළුවැල්ල, පල්ලියේ තිබූ විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට සහභාගි වී යමින් සිටියදී මෙම අනතුර වී ඇත. මෝටර් රථයේ ගමන් ගත් පස්දෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

මියගිය ගැබිනි මවගේ හා අට හැවිරිදි දැරියගේ හදිසි මරණ පරීක්‍ෂණ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පෙරේදා (18දා) පස්වරුවේදී සිදුකරනු ලැබීය. එහිදී සාක්‍ෂිකාරිය තවදුරටත් සාක්‍ෂි දෙමින් මෙසේද කීවාය. “මියගොස් සිටින්නේ මගේ තුන්වැනි දියණියයි. ඇය නවමස් ගැබිනියක්. මට පුතකු හා දියණියන් දෙදෙනකු ඉන්නවා. ඔවුන් විවාහකයි. විවාහ වී වෙනම පදිංචි වෙලා ඉන්නවා. මා හීනටිගල, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. මියගිය දියණිය විවාහ වී මහත්තයාගේ නිවෙසේ සිටියා. ඔහු කොන්ත්‍රාත් වැඩ කළා. ඔහුගේ නම උදාර පැතුම්.

පැතුම්ගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීම කළුවැල්ල පල්ලියේ තියෙන බව දියණිය එදින උදෑසන මට කතා කරලා කීවා. පල්ලියේ ඉන්න විටත් මට දියණිය කතා කළා. අම්මේ පැතුම්ගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතුවලට එක්වෙලා පල්ලියේ ඉන්නේ. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු උත්සවයට සහභාගිවීම සඳහා කොළඹ යන බවත් කීවා. විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතුවලට සහභාගිවෙලා සවස උත්සවයට කොළඹ යන්න එන විට මකුළුව, ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී මොවුන් ගමන් කරමින් සිටි මෝටර් රථය දුම්රියේ ගැටී ඇති බව දැන ගත්තා” යැයි ඇය කීවාය.මියගිය දැරියගේ පියා වන කිරිවත්තුඩුව, හෝමාගම පදිංචි ප්‍රදීප් කුමාර දිසානායක (36) මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසීය.

“මියගොස් ඇත්තේ මාගේ දියණියයි. ඇය හෝමාගම ජනාධිපති විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබනවා. මා දැනට යුද හමුදාවේ සේවය කරනවා. මගේ බිරියගේ නිවෙස තියෙන්නේ ගාල්ලේ මකුළුවේ. ඇයගේ මව හා පියා ඉන්නවා. බිරියගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා අපි ගාල්ලට ආවා. පවුලේ ඥාතීන් කිහිපදෙනකු සමඟ කුඩා බස් රථයකින් තමයි ගාලු ආවේ. ගාල්ල, කළුවැල්ල ක්‍රිස්තියානි පල්ලියේ තමයි විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළේ. විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් පසු අපි මගේ බිරියගේ නිවෙසට යෑමට පිටත් වුණා.

පවුලේ ඥාතියකු වන පැතුම් මෝටර් රථයකින් ඇවිත් හිටියා. එම මෝටර් රථයට මගේ දුව ගොඩවුණා. අපි බස් රථයෙන් බිරියගේ නිවෙසට ගියා. මේ අය කෑම වගයක් ගන්න කියලා නතර වුණා. මේ අය නැති නිසා අපි සොයා බැලුවා. දුරකථන ඇමතුම් ගත්තත් ඒවා වැඩ කළේ නැහැ. පසුව දැන ගත්තා ඔවුන් අනතුරකට ලක්වෙලා තියෙනවා කියලා. අපි අනතුර වූ ස්ථානයට ආවා. තුවාලකරුවන් කරාපිටියට රැගෙන ගොස් තිබුණා. අනතුරට අදාළ මෝටර් රථය පදවාගෙන ගොස් තිබුණේ පැතුම්. මෙම අනතුරෙන් ඔහුගේ බිරියත් මිය ගියා. ඇය මාස නවයක ගැබිනියක් බවද ඔහු කීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි අනුරුද්ධ උහන්ඕවිට මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරයා ගැබිනි මව හා කුස තුළ සිටි දරුවා මවගේ උදරයට වූ බහුවිධ තුවාල නිසා ලේ වහනය වීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළ අතර අට හැවිරිදි දැරියගේ හිස් කබලට වූ තුවාල නිසා මරණය වී ඇති බවට  තීන්දු කළේය.

ගාල්ල – කමල් විජේහේවා,

ඡායාරූප – ෆර්හාන් නිෂාම්දීන්