බොරදියේ මසුන් ඇල්ලීම නවතා ජාතික රජයකට කැපවන්න

0
22

රජයත් විපක්ෂයත් ඒකාබද්ධව කළ යුත්තේ ගැටලු නිරාකරණය කර ගැනීමෙහි සමත් ජාතික රජයක් පිහිටුවා ගැනීමට මැදිහත්වීම බවත් සියලු දේශපාලන පක්ෂ ඊට සහාය දිය යුතු බවත් බුද්ධභාෂණ කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

එම කාර්යසාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සී නාහිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රටවැසි මහජනතාව දිනෙන් දිනම ජීවත්වීමට අපහසු තරම් විවිධාකාර ගැටලුවලින් දැඩි සේ පීඩා ලබමින් සිටිති. ආර්ථික අර්බුදය එහිලා ප්‍රධාන වේ. ඉතා උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට රජය පැත්තෙන් විවිධ හේතු දැක්වුවද මහ ජනතාවට සත්‍යය එළිදරවු නොකරමින් රජයත් ඇතැම් රාජ්‍ය නිලධාරීනුත් ගෙනගිය වැරැදි ආර්ථික කළමනාකරණය හා දූෂණය මේ අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන හේතුව බව පිළිගත යුතු වේ. රජයත් විපක්ෂයේ ඇතැම් දේශපාලකයනුත් පෞද්ගලික භාවය, බලය හා පක්ෂය පිළිබඳ ගොඩනඟාගත් අගතිගාමී ආකල්ප නිසා මහජනතාවගේ ගැටලු නිරාකරණය සඳහා වහ වහා ගත යුතු අවශ්‍ය තීරණ ගැනීම් මඟහැරී ගිය බව මුළුමහත් ජනතාවටම ප්‍රත්‍යක්ෂය.

පොදු මහ ජනතාව විසින් අවිහිංසක ලෙස ‘අරගලයක්’ ආරම්භ කරන ලද්දේ පීඩිත ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට සාධාරණ විසැදුම් පේන තෙක් මානයේ නොපෙනුණු නිසාය. අරගලයට මහ මඟට නොබැස්ස අයගේ මතයද එයයි. එම නිර්පාක්ෂික අරගලයද වත්මන්හි ඇතැම් දේශපාලන සංවිධාන හා කණ්ඩායම් ස්වකීය පටු අරමුණු දිනාගැන්ම සඳහා අපයෝජනය කරමින් ඉතා ඛේදවාචක තත්ත්වයන් උදාකරන බව දැන් දැන් පෙනෙන්නට ඇත.

රජයත් විපක්ෂයත් ඒකාබද්ධව දැන් සිදුකළ යුත්තේ ස්වකීය පක්ෂය හෝ බලය මත කේන්ද්‍රගත නොවී, කැලැඹුණු දියේ මසුන් ඇල්ලීමට නොගොස් දවසින් දවස උත්සන්න වන ජනතාවගේ ආර්ථික අර්බුදය ඇතුළු දැවෙන ප්‍රශ්නයත් නිරාකරණය කොට මහජනතාවට අවශ්‍ය සහනය හා සාමකාමී පරිසරය ඇති කරලීම සඳහා අවශ්‍ය සාමූහික සහාය නොමසුරුව කොන්දේසි විරහිතව ලබාදීමයි. එසේ නොකළහොත් සියලු දේශපාලකයන් වෙත ජනතාවගෙන් නැඟෙන විරෝධය හා පිළිකුල තව තවත් තීව්‍රව එල්ල  වනු නොවැළැක්විය හැකිය. දැනට පැනනැඟී ඇති තත්ත්වය මුළු රටටම බලපාන මහත් අනතුරකි. බොහෝ දේශපාලකයන්ට මේ අනතුරෙහි බිහිසුණුකම තවම නොපෙනී යෑම අවාසනාවන්ත සිදුවීමකි.

එහෙයින් වත්මන්හි බහුතරයක් ජනතාවගේ අභිලාෂය දිනා ඇති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හැම දෙනා සමඟම සහයෝගයෙන් ක්‍රියා කළ හැකි පවතින උග්‍ර ආර්ථික දුෂ්කරතාවනට විසැඳුම් දිය හැකි යැයි ජනතාව සාධාරණ ලෙස සිතන බුද්ධිමත් නව ජනාධිපතිවරයකු හා නව අගමැතිවරයකු පාර්ලිමේන්තුව තුළින් අන්තර්කාලන රාජ්‍ය පාලනයක් සඳහා පත්කර ගැනීමට වැඩ බලන ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂ නායක සහ පක්ෂ නායකවරුන් පූර්ණ සහාය දී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරමු.

මහජනතාව ප්‍රකෝපයට හා ප්‍රචණ්ඩත්වයට පත් නොවන අයුරින් ක්‍රියා කළ පෞද්ගලික බලය, පක්ෂය හා රුචිකත්වය නොසලකා දැවෙන ආර්ථික හා සමාජීය ගැටලු විසඳීමට සමත් වන ජනතාව පිළිගත් දක්ෂ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු උක්ත ජනපති, අගමැති ධුර දෙක සඳහා තෝරා පත් කරගැනීමට සහාය වන මෙන්ද තෛ්‍රනිකායික අති පූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා නිවේදනය කළ පරිදි පාර්ලිමේන්තුව නියෝජනය වන සියලු පක්ෂවල සහයෙන් සර්වපාක්ෂික රජයක් පිහිටුවා ගැනීමට උත්සුක වන මෙන්ද සියලු මැති ඇමැතිවරුන් සහ සියලු පක්ෂ වෙත ජනතා හිතානුකම්පාවෙන් දන්වා සිටිමු.