බස් ගාස්තු 2.23%කින් පහළට

0
14

ඉදිරි සංශෝධනයකදී බස් ගාස්තුව 20% කින් අඩුවීමට නියමිත බවත්  ඊට ප්‍රථම ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු සියයට 2.23කින් අඩු වූ බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා ‘මව්බිම’ට පැවැසීය. 

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පැවැති බස් ගාස්තුව 20%කින් වැඩිකරන ලද  බවත් මේ වන විට  සෞඛ්‍ය හේතු මත ආසනගතව මගීන් ප්‍රවාහනය ක්‍රියාත්මක නොවන බැවින් එලෙස වැඩි කරන ලද මුදල නැවත අඩු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

මේ වන විට ආසන ගතව මගී ප්‍රවාහනය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන නිර්දේශය ඉල්ලුම් කර ඇති අතර එය ලැබීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිකරන ලද එම මුදල නැවත අඩු කිරීමට කටයුතු කරන බවත්  ඔහු සඳහන් කළේය.

එසේම ඉන්ධන මිල අඩු අඩුවීමත් සමඟ  රුපියල් 40.00ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 38.00ක් ලෙස සංශෝධනය කර ඇති බවත් දුර වැඩිම ගමන් වාරය වන කතරගම සිට පේදුරුතුඩුව දක්වා මිල රුපියල් 66.00කින් අඩුවන බවත් මිරැන්ඩා මහතා කීය.

මෙම නව මිල සංශෝධනය ගමන් අවස්ථා 350ට ම බලාත්මකව පවතින බවත් ශ්‍රී  ලංගම, අන්තර් පළාත්, අධිසුඛෝපභෝගී ඇතුළු සියලුම බස් රථ සඳහා ක්‍රියාත්මක බවත් ඔහු පැවසුවේය.

සංශෝධිත නව මිල ගණන් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන ලෙසත් නව මිල ගණන් මගීන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කරන ලෙසත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන් හා ලංගම සභාපතිවරයා දැනුවත් කර ඇති බවත් ඔහු පැවැසීය.

මේ පිළිබඳව පැය 24 පුරාවට ක්‍රියාත්මක 1959 යන ක්ෂණික දුරකථන අංකය අමතා පැමිණිලි කිරීමට මගීන්ට අවස්ථාවක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මිතුන් ජයවර්ධන