පෙර පාසල් කුඩා දියණිය වඩාගෙන කි.මී. 12ක් පයින් යන මවක්

0
29

ඉන්ධන අර්බුදය හමුවේ වාහන ධාවනය ඇනහිටීම නිසා තම කුඩා දියණියට පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට එම දරුවා වඩාගෙන දිනපතා කි.මී. 12ක පමණ දුරක් පා ගමනින් යෑමට සිදුව ඇති මවක පිළිබඳව උඩවලව, රංචමඩම ප්‍රදේශයෙන් වාර්තා වේ.

රංචමඩම ප්‍රදේශයේ ඉතා දුෂ්කර වැවේලන්ද ගම්මානයේ පදිංචි මෙම මව දිනපතා උදෑසන 06ට පමණ තම දියණිය රැගෙන නිවෙසින් පිටත්වී පැය දෙකකට අධික කාලයක් පාගමනින් යමින් ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි පෙර පාසලක් වෙත දරුවා රැගෙන යයි. “මම ජනිතා ඕමල්පගේ. මේ දුවත් තවත් වැඩිමහල් දුවෙක් අපට ඉන්නවා.

මගේ මහත්තයා සුළු ගොවිතැනක් කරලා තමයි අපිව ජීවත් කරවන්නේ. අපිට කුඩා බයික් එකක් තිබුණත් ඒකට පෙට්රල් නැහැ. අපේ පැත්තට එන බස් දෙකක් තියෙනවා. ඒවත් දැන් වැඩ කරන්නේ නෑ. ත්‍රීවීලුත් නෑ. අපේ ගමට තියෙන එකම මොන්ටිසෝරියත් වැහිලා. මේ හැමදේම හින්දා තමයි දුවත් වඩාගෙන දුක් විඳිමින් දවසකට කි.මී. 12කට වැඩි දුරක් පයින්ම යන්න එන්න වෙලා තියෙන්නේ.

මෙහෙම තමයි අපේ දරුවන්ට උගන්වන්න වෙලා තියෙන්නේ. දැන් තෙල් එනවා. ඒත් අපි වගේ පුංචි මිනිසුන්ට ඒකවත් ගන්න කිට්ටු වෙන්න ලැබෙන්නේ නෑ” ඇය පැවැසුවාය.

උඩවලව – සුරේන්ද්‍ර ගමගේ