පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී ඉතිහාසගත ලාභයක් වාර්තා කරයි

0
32

ශ්‍රී  ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රයේ විශ්වසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය නැවත අත් කිරීමට සමත් විය.

බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂුව 15.5%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර බදු පෙර ලාභය ලෙස රු. බිලියන 6.65ක ලාභයක් ළඟා කර ගනිමින් 13.2%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.

සර්වකාලීන ඉහළ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ “අපගේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබිඹු කිරීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂය තුළ සේවක කැපවීම පාර්ශ්වකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම හිතකර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි නැවත යාවත්කාලීන කිරීම ආදිය සිදුකළ බවය.

පෙර වසර හා සමානව Covid-19 හි තෙවැනි රැල්ල හමුවේ රටේ සර්ව ආර්ථික දර්ශකවල ක්‍රියාකාරිත්වය අඩාල කරමින්  ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩු දුන් භයානක අභියෝග රැසකට ව්‍යාපාරවලට මුහුණපෑමට සිදුවිය. කෙසේ වෙතත් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මෙම අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්‍ය  කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්විණි.

මෙම දුෂ්කර අවස්ථාවේ එම සමාගමේ 2,000කට අධික අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සහ ශ්‍රී  ලාංකේය ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කරමින් ආකර්ෂණීය බදු පසු ලාභයක් සාක්ෂාත් කර ගත් බව ෂමින්ද්‍ර මර්සිලින් මහතා තවදුරටත් සඳහන් කළේය.

සමාගමේ අක්‍රිය වත්කම් අනුපාතිකය පහත යෑම තුළින් පෙන්නුම් කළේ ණය අවදානම් කළමනාකරණය කිරීම සහ අයකර ගැනීම් වැඩිදියුණුකිරීම සඳහා යොමුකරන ලද සම්පත් සහ උත්සාහයන්හි ප්‍රතිඵලයන් වේ. ණය සහ ලැබිය යුතු මුදල් සඳහා අපහායන ගාස්තු රුපියල් මිලියන 1,044 සිට රුපියල් මිලියන 656 දක්වා 37.2%කින් අඩු විය.

මෙම කාල පරිච්ඡේදය තුළ ප්‍රාග්ධනය සහ ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය පමා සහන කාලය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසි අභිභවා එම නියාමන අවශ්‍යතාවන් පවත්වාගැනීමට සමාගම සමත් වූ අතර අක්‍රිය ණය (NPL) අනුපාතයද ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගෙන ගියේය.

තවද අවදානම් කළමනාකරණය කරමින් වර්ධන වේගය ඉහළ නැංවීමට පියවරගැනීම සහ ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම ප්‍රධාන වශයෙන් ඉලක්කකරන පාර්ශ්වකරුවන් කේන්ද්‍ර කරගත් නායකත්වයක් අනුගමනය කරමින් සමාගම විසින් වසර පුරා සිය පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් නිර්මාණය කෙරිණි.

මර්සිලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘ඉදිරි දැක්ම සමාගමට අතිශය අභියෝගාත්මක බවත් එබැවින් පවතින උද්ධමන පීඩනය සහ ප්‍රතිපත්ති අනුපාත ඉහළ නැංවීම සමාගමේ ණය කලබට බලපානු ඇතැයි අපේක්ෂා කරන අතරම මෙම බලපෑම පියවා ගැනීමට නම් අපි ආදායම් උත්පාදනය සඳහා විකල්ප මාර්ග සෙවිය යුතුය’ යන්නය.

සමාගම වසර පුරා සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකළ අතර එම ක්‍රියාවලියේ කොටසක් ලෙස අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගික කේන්ද්‍රීය යෙදුම් දියත් කරනු ලැබීය. පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට එය වර්තමානයේ ප්‍රධාන ප්‍රමුඛත්වයක් බවට පත්ව ඇත.

අප සමාගම දිවයින පුරා විසිරි සිටින 38,000කට අධික ගනුදෙනුකරුවන් සඳහා 2021/22 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 839කට අධික ණය පමා සහන ලබාදුණි. තවද ශ්‍රී  ලංකා මහ බැංකුවේ නියෝගවලට අනුකූලව යමින් ලිසිං වාරික ගෙවා නොමැති පුද්ගලයන්ගේ වාහන නැවත සමාගමට අත්පත් කර ගැනීම් අත්හිටුවූ අතර ණය පහසුකම් නැවත ප්‍රතිව්‍යුහගත කළේය.