නුවරඑළියේ තොග කඩයක ගබඩාවේ කෑමට නුසුදුසු ආහාර කිලෝ 800ක්

0
29

නුවරඑළිය නගරයේ තොග සහ සිල්ලර වෙළෙඳසලක ඉහළ මහලේ ගබඩා කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය කිලෝ 800ක් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20දා) ඉදිරිපත් කිරීමට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ඊයේ (19දා) විසින් පියවර ගෙන තිබේ.

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත එම නිලධාරීන් විසින් අදාළ වෙළෙඳසල සහ ගබඩාව ඊයේ (19දා) හදිසි  පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී ගබඩා කාමරය තුළ කරවල, ටින් මාළු, උඳුපිටි, සූකිරි, හාල්මැස්සන්, මිරිස්, තුනපහ, රටඉඳි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් ඉකුත් වී තිබූ බවත් තවත් ආහාර ද්‍රව්‍ය රැසක් මීයන්ගේ මල මුත්‍රා සහිතව ගබඩා කර තිබූ බව වැටලීම කළ නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියහ.

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගන්නා බවද නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටියහ.  

නොර්වුඩ් _ නීටා පත්ම කුමාරි