ජොකොවික්ට යළිත් ලෙඩක් වැටෙයි

0
134

කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා වූ නිසි එන්නත්කරණය සම්පූර්ණ නොකර තිබීම හේතුවෙන් සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය සහ කැනඩා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ වන විටත් ජොකොවික් කොවිඩ් වයිරසය වෙනුවෙන් එන්නත්කරණය සම්පූර්ණ නොකර තිබීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා අවසර ලබා නොදීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙයට පෙර පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදීද ඉහත ගැටලුව පැනනැඟුණු අතර මේ හේතුවෙන් ජොකොවික්ව තම රටින් පිටුවහල් කිරීමට පවා ඕස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කර තිබිණි.

එපමණක් නොව මෙම කරුණ මුල්කරගනිමින්ම කැනඩාවට ඇතුළු වීමේ අවසරය ද එළැඹෙන කැනඩා විවෘත ටෙනිස් තරගාවලියේදී ජොකොවික්ට නොලැබෙනු ඇති බවද අදාළ වාර්තාවන්හි දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොකොවික් පවසා තිබුණේ මෙවැන්නකි. “කොවිඩ් වයිරසය සඳහා මම එන්නත්කරණය සම්පූර්ණ කර නැහැ. එන්නත් කරගැනීමේ බලාපොරොත්තුවක්ද මට නැහැ. මේ වන විට පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම නීතියෙහි යම් ලිහිල්කරණයක් ඇතිවේ යැයි මම විශ්වාස කරනවා.”

කෙසේ නමුත් පසුගියදා නිමා වූ විම්බල්ඩන් ටෙනිස් ශුරතා තරගාවලියේදීද ශූරතාව හිමිකරගැනීමට සමත් වූයේ සර්බියානු ටෙනිස් ශූර නොවැක් ජොකොවික් වීමද

කැපී පෙනෙන සිදුවීමකි.

සටහන – ගමිත දෙහිපිටිය