ජපානයට ශ්‍රමිකයන් යවන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පුහුණු වැඩසටහනක්

0
41

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ එක්ව ජපානයට  පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇතිකර ගත් ගිවිසුමක් යටතේ නොමිලයේ  මාස හයක ජපන් භාෂා  පුහුණුවක් ලබාදී රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය කියයි.

මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා වයස 18ට වැඩි ඕනෑම අයකුට ලියාපදිංචි වියහැකි බවද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

උෟව, උතුරු හා නැඟෙනහිර යන පළාත්වල අගෝස්තු මාසයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා මේ දිනවල ලියාපදිංචි කිරීම් සිදුකරන බවද එම නිලධාරියා පැවැසීය.

 පුහුණු කාලයෙන් පසු ජපන් භාෂා මූලික තරග විභාගයකට මුහුණ දෙන අයැදුම්කරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා වැඩසටහන් සඳහා යොමු කරන බවද ඔහු කීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පළාත් පාලන අංශය විසින් ක්‍රියාත්මක මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ජේ‍යෂ්ඨ සහකාර ලේකම් පාලන 011-2347533ට ඇමතුමක් ලබාදීමෙන් විමසිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ