ජනතාව වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත්තා

0
16

දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් සම්මුතිවාදී ගමන ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ රටේ ජනතාව වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බවත්,  රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බවත් ඔහු සඳහන් කළේය.

රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික, සමාජ, සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යෑමත් උදෙසා කැපවෙමින් මෙම තීන්දුව ගත් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවැසීය.

රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම ඒකායන පරමාර්ථය වන අතර  ඒ වෙනුවෙන් ඇපකැප වෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති අතර එහිදී ඔවුහු මෙසේ ප්‍රකාශ කළහ.