එදා නොකරපු රනිල් අද කරන්නේ කොහොමද?

0
23

බලයට පැමිණීමට පාස්කු ප්‍රහාරය පාවිච්චි කිරීමේ නීච උත්සහායක් එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙමින් පවතින බවට කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා චෝදනා කළේය.

එදා අගමැති  පුටුවේ රනිල් වික්‍රමසිංහ වාඩි වී සිටියදී පාස්කු ප්‍රහාරය සිදු වුවත් ඒ වනවිට සාධාරණත්වය ඉටු කිරීමට ක්‍රියාත්මක නොවුණු ඔහු අද ජාත්‍යන්තර සහාය ගෙන යුක්තිය ඉටු කරන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ. 

මැරුණු  මිනිසුන්ගේ ලේ මතින් පැමිණ ජනාධිපති බලය ලබා ගැනීමට ඔහු උත්සාහ දරන බවටද සිරිල් ගාමිණී පියතුමා චෝදනා කළේය.

අගරදගුරු නිල නිවසේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කීහ.

විධායක බලතල සහිතව හැකියාවක් තිබියදීත් එදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකර අනුප්‍රාප්තික ජනපති තෝරා පත් කර ගැනීමට ඡන්දයක් පැවැත්වෙන අවස්ථාවක ප්‍රකාශයක් සිදු කිරීම හරහා හැඟී යන්නේ බලය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයෙන් යම්කිසි තල්ලුවක් ලබා ගන්නා බව යැයිද සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සිදු වී මාස හතක් ගත වන තුරුම බලයේ සිටි රනිල් වික්‍රමසිංහ එවකට නොකළ දෙයක් පිළිබඳව කතා කිරීම ප්‍රශ්නාර්ථයක් බවද උන්වහන්සේ පැවැසූහ.

ඒ කාලයේදීම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය හරහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගෙන ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වා මේ කරන ප්‍රකාශ හුදු රැවටීමක් පමණක් යැයිද පියතුමා කීය.

එය පාස්කු වින්දිතයන්ටත්, සාධාරණත්වය හා යුක්තියක් අපේක්ෂා කළ තමන් වහන්සේ ඇතුළු පිරිසටත් කළ නිග්‍රහයක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මැරුණු මිනිසුන්ගේ ලේ මතින් ඉන් පීඩාවට පත්වූවන්ගේ කඳුළු හා වේදානාවන් මතින් මෙතරම් කාලයක් සාධාරණයක් ඉල්ලා හඬ නැඟූ පිරිසගේ අරගලය මතින් ජනාධිපති බලය ලබා ගැනීමට දරන නින්දිත උත්සාහයක් බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කළේය.

තවදුරටත් මෙවැනි දේ ඔස්සේ ජනතාව රැවටීමට උත්සාහ නොකරන්නැයිද ජනතාව දේශපාලකයන්ගේ වංචාකාරී, රැවටිලිකාරී උත්සාහයන්ට තවදුරටත් රැවටීමට සූදානම් නැතැයිද උන්වහන්සේ අවධාරණය කළහ.

කුමන අයුරේ ආණ්ඩුවක් ජනපතිවරයකු හෝ අගමැතිවරයකු පත් වුවත් පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ලබා ගැනීමට කරන අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බවද පියතුමා කීවේය.

නීතිය ඉදිරියේදී සාධාරණත්වය, යුක්තිය ඉටුවන තුරු එය නොනවතින බවද උන්වහන්සේ තවදුරටත් පැවැසූහ.

සවනි ශේශාධි