ඉන්ධන හිඟයෙන් මන්නාරමේ ධීවර කර්මාන්තය හාන්සියි

0
40

පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් මන්නාරමේ ධීවරයන් මාස එකහමාරකට ආසන්න කාලයක් මුහුදු නොයෑම හේතුවෙන් ධීවර පවුල් 2000කට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්ව සිටින බවට මන්නාරම් ධීවර සංගම් පෙන්වා දෙයි.

ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් ධීවරයන් විශාල පිරිසකට මුහුදු යෑමට නොහැකි වී තිබෙන අතරම එම ධීවරයන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද මන්නාරම් ධීවර සංගම් පවසයි.

එමෙන්ම ධීවරයන් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් මන්නාරමේ මාළු මිල ගණන් අධික ලෙසින් ඉහළ ගොස් ඇති අතර එහිදී කුට්ටි මාළු, තලපත්, තෝරා, මෝරා, කෙලවල්ලා, බලයා ආදී මත්ස්‍ය කිලෝව රුපියල් 2,500කට ආසන්න මිලකට අලෙවි වීම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

එමෙන්ම මන්නාරමේ සිට කොළඹ දක්වා පසුගිය කාලයේදී විවිධ ප්‍රදේශයන් වෙත මාළු ප්‍රවාහනය කළද මේ වන විට මත්ස්‍ය ප්‍රවාහනයද ඉන්ධන නොමැතිකම හේතුවෙන් සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි මන්නාරම් ධීවරයෝ පවසති.

මේ අතර මන්නාරමේ ධීවරයන්ට මසුන් ඇල්ලීමට මුහුදු යෑමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වීමත් සමඟ එම ධීවරයන් වෙනුවෙන් කිසියම් ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසටද මන්නාරම් ධීවර සංගම් සාමාජිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මුලතිව් – ශෂි කුමාර්