ඉන්ධන ඇප් එකේ රෙජිස්ටර් වෙන්න යන ගැමියන් ගසා කෑමට ලක්වෙලා

0
42

ඉන්ධන ඇප් එක සඳහා වාහන ලියාපදිංචි කිරීමට ඇතැම් දුරකථන සේවා මධ්‍යස්ථාන හිමියෝ රුපියල් 100 _ 500 දක්වා මුදලක් අය කරන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඉන්ධන ඇප් එක ක්‍රියාත්මක කිරීමේදී ගම්බද ප්‍රදේශවල සිටින ජනතාව කබලෙන් ළිපට වැටෙන තත්ත්වයක් උදාවී ඇතැයි  ඔවුහු පවසති.

ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වීමට සකසා ඇති ක්‍රමවේදය නිසා ස්මාට් ජංගම දුරකථන නැති සංඥා පහසුකම් නැති ප්‍රදේශවල සිටින ත්‍රිරෝද රියැදුරන්, ලොරි, ට්‍රැක්ටර් ඇතුළු වාහන පදවන තමන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි ඔවුහු කියති. අවස්ථා ගණනකදී එය සම්පූර්ණ කිරීමට උත්සාහ කළත් තවමත් තමන්ට  එය නිවැරදිව සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ බව රියැදුරෝ පවසති.

ස්මාට් ජංගම දුරකථනයක් තබා කිසිදු දුරකථනයක් භාවිත නොකරන තමන්ට මේ මොහොතේ ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචිය සඳහා ස්මාට් ජංගම දුරකථනයක් මිලදී ගැනීමට සිදුව ඇතැයිද රියැදුරෝ කියති.  එසේ ගත්තද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මෝල්කාව, කෙළින්කන්ද, යට්ටපාත, හැඩිගල්ල ආදී ප්‍රදේශ රැසක සන්නිවේදන සංඥා නැති නිසා තමන් මහත් අපහසුතාවට පත්ව සිටින බව ප්‍රදේශයේ ජනතාව කියති.

මතුගම _ වසන්ත කුමාර