ඇප ඉල්ලීමට විරෝධතා ගොනු කරන තෙක් කෑගල්ල හිටපු එස්.එස්.පී. ඇතුළු සිවුදෙනා යළි රිමාන්ඩ්

0
29

රඹුක්කන සමුපකාර ඉන්ධන පිරවුම්පොළ ආසන්නයේ උද්ඝෝෂණයක නියැළී සිටි පිරිසකට පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් සිවිල් වැසියකු මියගොස් තවත් 13 දෙනකුට බරපතළ තුවාල සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෑගල්ල හිටපු ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු සිවුදෙනා වෙනුවෙන් කළ ඇප ඉල්ලීමට විරෝධතා ලබන අගෝස්තු 05 වැනිදා ගොනු කරන ලෙස සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණ විනිසුරු අල්විස් මහත්මිය ඊයේ (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අනුව එතෙක් සැකකරුවන් සියලුදෙනා රිමාන්ඩ් භාරයේ තැබීමටද නියම විය.

ඊයේ 19 වැනිදා නඩුව කැඳවූරු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ අරින්ද ජයසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයක් ලබාදෙන ලෙසයි. රජයේ අධිනීතිඥවරයාගේ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු අල්විස් මහත්මිය ඇප ඉල්ලීමට පෙර කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ දැනට පවත්වාගෙන යන නඩුවේ බී වාර්තාවේ පැහැදිලි පිටපතක් මහාධිකරණයට ලබාදීමට කටයුතු සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ඒ අනුව ඇප විරෝධතා අගෝස්තු 05 වැනිදාට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් ගොනු කරන ලද ඇප විරෝධතා එදිනට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ධන ඉල්ලා ඉකුත් අප්‍රේල් 19 වැනිදා පෙරවරුවේ රඹුක්කන සමුපකාර පිරවුම්පොළ ආසන්නයේදී සාමකාමී උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි තැබීමෙන් දේවාලේගම, හිරිවඩුන්න නාරංබැද්ද කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත්වී තවත් සිවිල් වැසියන් 13 දෙනකු බරපතළ තුවාල ලැබූ අතර කෑගල්ල සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසිදෙනකු ද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.

ඊයේ 19 වැනිදා නඩුව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා පෙනී සිටියේය.  

දමුණුපොළ – චමින්ද ජයලත්