අස්ගිරි පාර්ශ්වයේ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ සබරගමු ප්‍රධාන සංඝනායක ධුරයට

0
17

ඓතිහාසික බලංගොඩ කූරගල රජමහ විහාරාධිපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහලගල රජමහ විහාරාධිකාරී කර්මාචාර්ය පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක සංඝ සභාව මඟින් සබරගමු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

අදාළ පදවිය උන්වහන්සේට පිරිනැමීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරතන නාහිමි කළ යෝජනාව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නාහිමියෝ ස්ථිර කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමි, අනුනායක හිමිවරුවන් වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී යන නාහිමිවරු ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාව අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂිතාගාරයට 19දා රැස්ව සබරගමු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන් වෙත පිරිනැමීමට තීරණය කළේ ධර්මකීර්ති ශ්‍රී මංගල ගෞරවනාමයද සමඟිනි.

නෙල්ලිගල ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැඟීමෙන් නොනැවති වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ඓතිහාසික කූරගල රජමහා විහාරය සංවර්ධනය කරමින් ශාසනයේ උන්නතිය උදෙසා සුවිශාල මෙහෙවරක් කරමින් සිටින බව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ. මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද සහභාගි විය.

මහනුවර – කේ. එල්. සුරවීර,

වාද්දුව – ජනක හෙට්ටිආරච්චි