අද පැවැත්වෙන උද්ඝෝෂණවලදී මහජන අයිතීන් මර්දනය කරන්න ආවොත් පොලිසියට නඩු දානවා

0
39

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම සිදුවන අද (20දා)  කොළඹ ඇතුළු දිවයින පුරා පැවැත්වෙන උද්ඝෝෂණවලදී පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මහජන අයිතීන් මර්දනය කිරීමට උත්සාහ කළහොත් එම පොලිස් නිලධාරීන්ට වෙන වෙනම ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු පවරන බව අරගලයේ පරපුර සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් නානායක්කාර පැවැසීය.

උද්ඝෝෂණවලදී වෙඩි තැබීම්, පහරදීම් ඇතුළු  හිංසා සිදුකරන පොලිස් නිලධාරීන්ට තනි තනිව මූලික අයිතිවාසිකම් නඩුවලට පෙනී සිට ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදෙන නඩු තීන්දුවලට තනි තනිව මුහුණ දීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම නඩු තීන්දුවලින් වරදකරුවන් වන පොලිස් නිලධාරීන්ගේ උසස් වීම්, රැකියාව හා විශ්‍රාම වැටුප අහිමිවිය හැකි බවත් අවසානයේදී වින්දිතයන්ට ලක්ෂ ගණනින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

සියලු බලයන්ට වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබාදී ඇති පරමාධිපත්‍ය බලය ශේ‍ර්ෂ්ඨ බව පැවැසූ හෙතෙම රෙගුලාසිවලින් මූලික අයිතිවාසිකම් මර්දනය කළ නොහැකි බව කීය.

ලක්ෂ ගණන් ජනතාව අද දින කොළඹට පැමිණීමට නියමිත බවත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන ක්‍රමවේදයට ඔවුන්ගෙන් බාධාවක් නොවන බවත් මනෝජ් නානායක්කාර පැවැසීය.

වත්මන් පාලකයන්ට විරුද්ධ ජන බලය ප්‍රකාශ කිරීමට පැමිණෙන එම ජනතාව පාර්ලිමේන්තුව වැටලීමට නොයන බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගෝල්ෆේස් අරගලකරුවන්ගෙන් කිසිදු බාධාවක් නැතැයි අරගලයට සම්බන්ධ පාර්ශ්ව පවසති.

රනිල් ගෝ ගම අරගල භුමියේදී ඊයේ (19දා) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුහු අවධාරණය කළේ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට විරෝධතා පැවැත්වීමට කිසිදු අරගලකරුවකු ඉදිරිපත් නොවන බවයි.පාර්ලිමේන්තුවට පහරදීමට යැයි පවසමින් කිසිවෙක් අරගලයට කැඳවනවා නම් එය උගුලක් බවත් එවැනි කූට උපායවලට අසු නොවන ලෙසත් ඔවුහු ඉල්ලීමක්කරති.

අමිත් මධුරංග ගමගේ / සවනි ශේශාධි