FB එකෙන් මන්ත්‍රින්ට තර්ජනය කරන අය ගැන CIDයෙන් පුළුල් විමර්ශන

0
46

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරන පුද්ගලයන් සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පොලිස් මූලස්ථානය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඇති අතර එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන වෙත පවරා තිබේ.

 ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරමින් විවිධාකාර දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන පුද්ගලයන් මෙන්ම ඒවා සකස්කරන, බෙදාහරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී නිදහස් ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 17 වැනිදා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබිණි.

ප්‍රචණ්ඩත්වය පතුරුවන කැරලිකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයන්ට ඡන්දය දී ගමට එන්න එපා යනුවෙන් සඳහන් “පෝස්ට්” ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

කීර්ති මෙන්ඩිස්