21 වැනිදා සිට තෙල් දෙන්නේ මෙහෙමයි

0
240

රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල් හරහා ඉන්ධන නිකුත් කිරීම එළැඹෙන 21 වැනිදා සිට QR කේත ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ ‘මව්බිම’ට පැවැසීය.

වාහනයේ අවසන් අංකයට අදාළ දිනයට වාහනය ඉන්ධන පෝලිම වෙත රැගෙන ආ යුතු අතර මෙලෙස දිනවලට අදාළව වර්ග කළ වාහන අවසන් අංක මෙසේය.

0,1,2 – සඳුදා, බ්‍රහස්පතින්දා

3,4,5 – අඟහරුවාදා, සිකුරාදා

6,7,8,9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වැඩකටයුතු  සූදානම් කර ඇති නිසා ජනතාවට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා දැනුම් දුන්නේය.

එසේම මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීම හේතුවෙන් පෙර යුද හමුදාව විසින් ලබාදුන් ටෝකන් ක්‍රමය ලබන 21 වැනිදා සිට අවලංගු වන බවද හෙතෙම කියා සිටියේය.

මෙම නව QR කේත ක්‍රමය ඔස්සේ දින දෙකක් වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකිය. එසේම මෙයද ක්‍රියාත්මක කරන්නේ කෝටා ක්‍රමයක් යටතේ බවත් QR කේතයේ අදාළ වාහනයට හිමි ඉන්ධන ලීටර් ප්‍රමාණය දක්වා ඇති බවද සභාපතිවරයා පැවැසීය.

එසේම තමාට හිමි දිනයට ඕනෑම සිපෙට්කෝ ඉන්ධනහලකින් තමාට හිමි ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට හැකියාවක් පවතින බවද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චාමර අමරසූරිය