හොර පාරෙන් ජනපති පුටුවට යන්න රනිල්ට ඉඩ දෙන්නේ නැහැ

0
11

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

අරගලකරුවන් බැඳ තබා හොර පාරෙන් ජනාධිපති ධුරයට පත්වීමට රනිල් වික්‍රමසිංහ කල්පනා කර ඇත්නම් ඊට ඉඩ නොදෙන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව තුළ මන්ත්‍රිවරුන්ට බලපෑම් කිරීමේ අයිතිය ජනතාවට ඇතැයි පැවැසූ හෙතෙම රනිල් වික්‍රමසිංහට බම්බු ගසාගන්න කියා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනාට බලපෑම් කළ යුතු බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යැයි පවසමින් තවදුරටත් ජනතාව රැවටීමට ඉඩ දිය නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහට බලපෑම් කිරීම සඳහා රටවැසි සියලු ජනතාවගේ සහාය අවශ්‍ය බවත් මුදලිගේ මහතා සඳහන් කළේය.

ජනතාවට වගනොකියා තනි ගමනක් යෑමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටින බවත්, අගමැති ධුරයේ සිටි මාස එකහමාර තුළ ප්‍රශ්න නොවිසඳු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී ප්‍රශ්න විසඳනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් හෙතෙම පැවැසීය.

අද දිනයේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව ක්‍රියාවට නංවන ජාතික විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහඤය ලබාදෙන බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවැසීය.  

අමිත් මධුරංග ගමගේ