හිත්වලට හිස්කම පුරවන ඩිප්‍රෙෂන්වලින් මිදෙන්නේ කොහොමද?

0
74

බ්‍රයන් අවුරුදු 24ක් වයසැති තරුණයෙක්. ඔහු ජීවත් වන්නේ විදේශීය රටක. මීට සති දෙකකට පමණ පෙර ඔහු මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ උපදේශනය ලබා ගැනීම සඳහා මා හා සම්බන්ධ වුණා. මා හමුවුණ පළමු දිනයේ, බ්‍රයන්ගේ හැසිරීම තුළින් ඔහු ඉතා වේදනාවෙන් පසුවන බව මා අවබෝධ කරගත්තා. තමන්ට කිසිවකුට නොපෙනී සිටීමට හෝ අතුරුදහන් වීමට හැකි නම් හොඳ යැයි ඔහු පවසා සිටියා. ඔහුට සිය ජීවිතය හිස් බවින් (empty) පිරී ඇති බවත් අධික දුකකින් (excessive sadness) තමන් වෙළා ගෙන ඇති බවත්  ප්‍රකාශ කර සිටියා.

ඔහු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන සිසුවකු වූ අතර මෙම තත්ත්වය හේතුවෙන් ඔහු සති ගණනාවක් දේශන සඳහා සහභාගි වීම මඟ හැර තිබුණා. ඔහුට තම ඉලක්ක කරා යෑමට ආශාවක් තිබුණේ නැහැ. එපමණක් නොවෙයි. පෙරමෙන් මිතුරන් ඇසුරු කිරීම හෝ සමාජ සබඳතා පැවැත්වීම ඔහුට ප්‍රිය මනාප දෙයක් හෝ කළ හැකි දෙයක් වූයේද නැහැ. දේශන සඳහා සහභාගි වීම වෙනුවට ඔහු කළේ පැය ගණනක් සිය ඇඳ මතට වී වේදනාවෙන් කාලය ගත කිරීමයි.

බ්‍රයන් සමඟ පැවැත් වූ පළමු සැසියේදී ඔහු විශාදය (depression) නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන බව මා ඔහුට අවබෝධ කර දුන්නා. ඔහු තුළ විශාදය හා සම්බන්ධ රෝග ලක්ෂණ රාශියක් දක්නට ලැබුණා. ඒවා නම්,

1. දිගින් දිගටම පවත්නා මානසික අවපීඩනය (depressive mood)

ඔහු වසර දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි දුකකින් (excessive sadness) පීඩා වින්දා. නිතර කේන්ති යන ස්වභාවය සහ කනස්සලු ස්වභාවය (irritable) ඔහු අත්විඳිමින් සිටියා.

2. උනන්දුව අඩු බව (decreased interest)

ඔහුට තමන් පෙර සතුටට පත් වූ කිසිවක් කිරීමට ආශාවක් තිබුණේ නැහැ. ඔහු එම ක්‍රියාවන් කරනු ලැබුවද ඉන් සතුටක් ලැබුවේද නැහැ. ඔහු සිය  විනෝදාංශ සියල්ල අත්හැර දමා තිබුණා.

3. ආහාර රුචියේ වෙනස්කම් (changes in appetite)

බ්‍රයන් වසර කිහිපයක සිට සිය සිරුරේ බර අඩු වී ඇති බවත් ආහාර ගැනීමට තමන්ට කිසිදු ප්‍රියතාවක් නොමැති බවත් කියා සිටියා. ආහාර රුචියෙහි වෙනස්කම් ඇතිවීම විශාදයෙහි ප්‍රධාන රෝග ලක්ෂණ ගොන්නට ඇතුළත්. විශාදය වැලඳූණු ඇතැම් පුද්ගලයන් තුළ ආහාර රුචිය දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. එමෙන්ම තමන් විසින්ම ආහාර පිසිනු ලබන්නේ නම් ඒ සඳහා ද ශක්තියක් (lack of energy) විශාදය  සහිත රෝගීන් තුළ දක්නට ලැබෙන්නේ අඩුවෙන්. එහෙත් විශාදි රෝගීන්ගෙන්  ඇතැමෙක් තුළ දැකිය හැකි තත්ත්වය මීට තරමක් වෙනස්. ඔවුන් තුළ පමණට වඩා ආහාර ගැනීම (over eating) දක්නට පුළුවන්. සිය මානසික අවපීඩන තත්ත්වය සමනය කර ගැනීම සඳහා මෙලෙස වැඩිපුර ආහාර ගැනීමට ඔවුන් උත්සාහ කරනවා. මෙසේ අඩුවෙන් ආහාර ගැනීම සහ වැඩිපුර ආහාර ගැනීම යන කරුණු දෙකම ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයටද අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා.

4. නින්ද ආශ්‍රිත ගැටලු (sleeping disturbances)

බ්‍රයන් සම්බන්ධයෙන් කතා කරන විට ඔහුට ක්‍රමවත් නින්දක් යම් තරමකට ලැබුණද විශාදයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට අනූවකට පමණ නින්ද ආශ්‍රිත ගැටලු පවතින බව පර්යේෂණ තුළින් හෙළි වී තිබෙනවා. මේ අතුරින් ඇතැම් රෝගීන්ට ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට නොහැකිකම (insomnia) දක්නට ලැබුණ අතර ඇතැමුන්ට තුළ අධික ලෙස නින්ද යෑම (hypersomnia) දක්නට ලැබෙනවා. මින් බහුතරයක් දෙනා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන අතර විශාදයෙන් පෙළෙන තරුණ ප්‍රජාව අධික ලෙස නිදා ගැනීම පොදුවේ දක්නට හැකි ලක්ෂණයක්.

5. නිතර දැනෙන තෙහෙට්ටුව හෝ වෙහෙසකර බව (fatigue)  

විශාදයෙන් පෙළෙන රෝගීන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් ලෙස තෙහෙට්ටුව දක්වන්න පුළුවන්. ඔවුන්ට එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය නොමැති බව දැනෙන අතර යම්කිසි කාර්යයක නියැළුණද  අධික වෙහෙසක් අත්විඳිනු ලබනවා.

6. මනෝචාලක ක්‍රියාවන්ගේ වෙනස්කම් (psychomotor changes)

ඇතැම් විශාදයෙන් පෙළෙන රෝගීන් සිය මානසික අවපීඩන තත්ත්වය හේතුවෙන් එකම ක්‍රියාවන්හි නැවත නැවත නිරතවීමට දක්නට ලැබෙනවා. උදාහරණ ලෙස දැක්වුව හොත් නිතර ඇසිපිය ගැසීම, නිතර නිතර මේසයට හෝ පුටුවට තට්ටු කිරීම, නිතර කකුල් සෙලවීම වැනි ක්‍රියාවන් දක්වන්න පුළුවන්. එමෙන්ම විශාද රෝගීන්ට වැඩි වේලාවක් එක් ඉරියව්වකින් නිශ්චලව සිටීමට අපහසු වන අතර අවධානය නිසි ලෙස පවත්වා ගෙන යෑමට සහ පැහැදිලි ලෙස සිතීමටද අපහසුයි.  එපමණක් නොව ඔවුන්ට ඇතැම්විට අන්‍යයන් සමඟ සාර්ථක ලෙස සන්නිවේදනය කිරීමට පහසු වන්නේ ද නැහැ.

6. තමන් පිළිබඳව ඇති වටිනාකම අඩුවීම සහ වරදකාරී බව (worthlessness and guilt)

පළමු උපදේශන සැසියෙදී බ්‍රයන් කිහිප වරක්ම මා සමඟ පැවසූ කරුණක් නම් තමන් කිසිදු වටිනාකමක් නොමැති පුද්ගලයකු බවයි. ඔහුට ඔහු තුළ පැවති හැකියා සහ කුසලතා පිළිබඳ කිසිදු ඇගයීමක් තිබුණේ නැහැ. අධ්‍යාපන කටයුතු නිසියාකාරව නොකළේ යැයි යන වරදකාරී හැඟීමෙන් ඔහු පෙළුණා. ඉතා කුඩා දේ පිළිබඳව පවා වරදකාරී හැඟීම, තමන් පිළිබඳ නිෂේධාත්මක ආකල්ප සහ නිසි ලෙස තමන්ව අගය නොකිරීම විශාදය සහිත රෝගීන්ගේ තවත් එක් ලක්ෂණයක් ලෙස දක්වන්න පුළුවන්.

7. මරණය පිළිබඳ නිතර නිතර සිතීම (recurrent thoughts of death)

බ්‍රයන් තුළ සියදිවි නසා ගැනීමට ප්‍රයත්න  දැරීම දක්නට නො තිබුණත් තමන් මෙලොවින් අතුරුදන් වන්නේ නම් කොපමණ හොඳද යන හැඟීම නිතර නිතර ඇති වන බව ඔහු ප්‍රකාශ කළා. එහෙත් විශාදයෙන් පෙළෙන රෝගීන් බොහොමයක් මරණය කෙරෙහි බියක් දක්වන්නෙ නැහැ. ඔවුන් සමහරක් සියදිවි නසා ගැනීම සඳහා සැලසුම් සකස් කරන අතර ඒ සඳහා ප්‍රයත්න දරනවා. විශාදය හේතු කොටගෙන ලංකාව තුළ සිදුවූ සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් එතරම්ම විරල වන්නේ නැහැ.

බ්‍රයන් පිළිබඳව කතා කරන විට ඔහුට විශාදය වැලඳීමට ප්‍රධාන වශයෙන්ම බලපාන ලද්දේ ඔහුගේ ආදර සබඳතාව බිඳ වැටීම බව ඔහු සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී හෙළි වුණා. වසර දෙකක් පමණ පැවති ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව මීට වසර දෙකකට පමණ පෙර දී බිඳී ගිය බවත් ඔහු ඇයට බලවත් ලෙස ප්‍රේම කළ බවත් මා සමඟ පවසා සිටියා. ඉන් මාස කිහිපයකට පමණ පසු ඔහුගේ පියාද හදිසි අනතුරකින් මියගිය අතර ඉන් ඇති වූ අධික මානසික පීඩනයද විශාදය තව තවත් වර්ධනය වීම සඳහා හේතු සාධක වී තිබුණා.

සිය ආදරණීයයන් අහිමිවීම බ්‍රයන් රෝගී වීම කෙරෙහි බලපාන ලද නමුදු, විශාදය ඇතිවීම කෙරේ බලපානු ලබන හේතු සාධක රැසක්ම තියෙනවා. ජානමය බලපෑම (genetics) මොළයේ ඇතිවන ජීවරසායන වෙනස්කම් (brain chemistry), විවිධ ශාරීරික රෝගාබාධ (critical illnesses), හෝර්මෝන වෙනස්වීම් (hormonal changes), ජීවන රටාවේ වෙනස්කම් (lifestyle changes), අධික මානසික පීඩනය (stress) සහ ශරීරයට ප්‍රමාණවත් පරිදි පෝෂණීය ආහාර නොලැබී යෑමද (lack of nutrition), විශාදය ඇතිවීම කෙරෙහි බලපානු ලබන අනෙකුත් සාධක ලෙස දක්වන්නට පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආකාරයට 2021 වන විට දළ වශයෙන් ලෝක ජනගහනයෙන් මිලියන දෙසිය අසූවක් පමණ දෙනකු විශාදයෙන් පීඩා විඳිනවා. ඔබද ඒ අතර සිටින එක් අයකු වන්නට පුළුවන්. එහෙත් ඔබට දිය යුතු වැදගත්ම පණිවිඩය වන්නේ විශාදය මැනවින් ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයක් බවයි.

විශාදය සඳහා ඔෟෂධ ප්‍රතිකාර ගැනීම ඇතැමකු ප්‍රතික්ෂේප කළත්, විශාදය සඳහා ඔෟෂධ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. එබැවින් ඔබ සති දෙකකට පමණ වැඩි කාලයක් තිස්සේ ඉහත රෝග ලක්ෂණ කිහිපයකින් හෝ පීඩා විඳිනු ලබයි නම්, ඔබ මනෝ වෛද්‍යවරයකු (psychiatrist) හමුවීම අත්‍යවශ්‍යයි. වෛද්‍ය ප්‍රතිකාර (medication) සේම විශාදයට ප්‍රතිකාර කිරීම සඳහා මනෝ ප්‍රතිකාරය ද (psychotherapy) අත්‍යවශ්‍යයි. මනෝ චිකිත්සකයින් (psychotherapists) ඔබේ රෝග ලක්ෂණ නිසි ලෙස නිරීක්ෂණය කොට  ඒ සඳහා විවිධ මනෝ ප්‍රතිකාර ක්‍රම (psychotherapeutic approaches and techniques) භාවිත කරනු ලබනවා. එමෙන්ම ඒ තුළින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ද පවතිනවා.

මේ කරුණුවලට අමතරව විශාදය සුවකර ගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ද තිබෙනවා.  ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, පෝෂ්‍යදායී ලෙස ආහාර ගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් ඉවත් වීම, ශාරීරික ව්‍යායාම්වල නිරත වීම සහ විවිධ භාවනා ක්‍රම අත්හදා බැලීම ඉන් කිහිපයක්. ඔබ හෝ ඔබේ පවුලේ සාමාජිකයකු නැතහොත් ඔබේ මිතුරකු හෝ ඔබ දන්නා අයකු තුළ ඉහත රෝග ලක්ෂණ දක්නට ලැබේ නම් හැකි විගස ඔහු මනෝ වෛද්‍යවරයකු හෝ මනෝ චිකිත්සකවරයකු වෙත යොමු කරන්න. එය ඔබ, ඔබ වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් කරනු ලබන වැදගත් සහ වටිනා කාර්යභාරයක්.

අරෝෂා මේදිනී දසනායක
උපදේශන මනෝවිද්‍යාඥ