හිටපු නි. ඇමැති සරත් ගුණරත්න ඇතුළු තිදෙනකුට වරෙන්තු

0
10

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් වෙන්කර තිබූ රුපියල් මිලියන දහයකට අධික රජයේ මුදලක්  දේශපාලන ප්‍රචාරක රැලියක කටයුතු සඳහා අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (18දා) වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් නොවීම හා නීතිඥ නියෝජනයක් නොමැති වීම මත හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර හා උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ යන විත්තිකරුවන්ට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් විය.

මෙම නඩුව ඊයේ (18දා) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පළමුවැනි, පස්වැනි හා හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා හා නීතිඥ අසිත විපුල නායක මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ අනුව මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 7 වැනි දින කැඳවීමට විනිසුරුවරයා නියම කළේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ, චන්දන පැල්පිට, උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ සහ ලක්මින මුනිදාස යන විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

පසුගිය 2014 නොවැම්බර් මස 20 වැනි දින හා 2015 ජනවාරි මස 07 වැනි දින අතර කාලය තුළදී  මීගමුව කළපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ රුපියල් එක්කෝටි ‍ෙදාළොස් ලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් ඉකුත් ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් තරග වැදුණු මහින්ද රාජපක්ෂ මහතාගේ මීගමුවේ පැවැති රැලියේ ප්‍රචාරක කටයුතු සඳහා වැය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

හංසි  නානායක්කාර