හදිසි නීතිය වහාම අවලංගු කරන්න

0
14

හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ මහජන විරෝධතා හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සලකා බලා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිතුරක් නොවන බැවින් එය වහාම අවලංගු කරන ලෙස

ශ්‍රී  ලංකා නීතිඥ සංගමය. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියි. මහජන පරමාධිපත්‍යයේ අංගයක් වන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසද රාජ්‍ය හා ඔවුන්ගේ නියෝජිතයන් විසින් ඒවා උල්ලංඝනය නොවන පරිදි කටයුතු කළයුතු බවද එම සංගමය නිවේදනයක් මඟින් පෙන්වා දෙයි.

ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස මෙන්ම පුරවැසියන්ගේ විරෝධය දැක්වීමේ අයිතිය හා විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමේ වැදගත් අංගයක් බවද  එම සංගමයේ දැඩි ස්ථාවරය වේ.

සාමකාමී විරෝධතා හා විරුද්ධ මත මැඬ පැවැත්වීමට හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවද එම සංගමය පවසයි.

මෙම ජූලි මස 18 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් පසුගිය අප්‍රේල් 1 වැනිදා සිට රට තුළ මෙවැනි හදිසි අවස්ථා තත්ත්වයක් ඇති කළ 3 වැනි අවස්ථාව මෙය බවද එම නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.

මීට පෙර අවස්ථාවලදී මෙන්ම හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර ඕනෑම නීතියක ප්‍රතිපාදන අභිභවා යෑමට, සංශෝධනය කිරීමට හෝ අත්හිටුවීමට හැකි හදිසි නීති රෙගුලාසි සෑදීමට මේ අනුව වැඩබලන ජනාධිපතිවරයාට බලය ඇති බවද එම සංගමය පෙන්වාදී ඇත.

එසේම සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය මඟහරිමින් පුද්ගලයන් රඳවා තබා ගැනීමට හදිසි නීති රෙගුලාසි භාවිත කිරීමට හෝ යම් විසම්මුතියක් යටතේ කිරීම හෝ විශේෂ අපේක්ෂකයකු පිළිබඳ විරුද්ධ වීම හෝ එකඟ නොවීම, යටපත් කිරීම, නොකළ යුතු බවද පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අනිසි ලෙස බලපෑම් කිරීමට හෝ මන්ත්‍රිවරයකුගේ ඡන්දය සම්බන්ධයෙන් අල්ලස් දීමට දරන ඕනෑම උත්සාහයක් නීතියට අනුව වරදක් බවද එම සංගමය පෙන්වා දෙයි.

ඒ ආකාරයෙන් ඡන්දයකට බලපෑම් කිරීම සඳහා කිසියම් තර්ජනයක්, අනිසි බලපෑමක්, බල කිරීමක් හෝ අල්ලසක් භාවිත කිරීමට දරන ඕනෑම උත්සාහයක් නීති විරෝධී වන අතර එය අනුමත නොකළ යුතු ක්‍රියාවක් බවද  එහි සඳහන්ය.

ඒ අනුව අනිසි බලපෑමක් හෝ තර්ජනයක් කිරීම නීති විරෝධී හා තහනම් වුවත් මැතිවරණයකදී හෝ යම් අපේක්ෂකයකු තෝරා ගැනීමේදී යම් අපේක්ෂකයකුගේ සාපේක්ෂ කුසලතා හෝ අඩුපාඩු පිළිබඳව පුරවැසියකුට ඔහුගේ හෝ ඇයගේ මතය ප්‍රකාශ කිරීමට නීතියෙන් බාධාවක් නොවන බවද පෙන්වාදී තිබේ.

මූලික අයිතිවාසිකම් හා රටේ යථා පැවැත්ම සඳහා 15 වන ව්‍යවස්ථාව යටතේ සීමාවන්ට යටත් කොට ඇති බවත් කෙසේ වෙතත් නීතියෙන් පනවන ඕනෑම සීමාවක් සමානුපාතික හා සාධාරණ විය යුතු බවද එම සංගමය පෙන්වාදී තිබේ.

සාමකාමී විරෝධතාවන් ප්‍රචණ්ඩත්වයට පත් වුවහොත් එය සාමකාමී ලෙස විසම්මුතිය  ප්‍රකාශ කිරීමේ පරමාර්ථය හා අරමුණු ව්‍යාප්ත කරන අතර නීත්‍යනුකූල විසම්මුතිය යටපත් කිරීමට උත්සාහ කරන අයගේ දෑත් ශක්තිමත් කරන බවද එම සංගමය පෙන්වා දෙයි.

එවැනි විරෝධතා සාමකාමීව පවතින බව සනාථ කිරීමට  විරෝධතාවල යෙදී සිටින අය උපරිම සැලකිල්ල දැක්විය යුතු අතර එවැනි විරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වය  හා විනාශය ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන් පරෙස්සම් විය යුතු බවද එම සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

කුමුදු උපුල් ශාන්ත