සුපිරි 12 වටයට යන ශ්‍රී ලංකාවේ පළමු මෙහෙයුම ඔක්තෝබර් 16

0
11

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය හෙවත් පළමු වටයේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී  ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම් වනුයේ නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තයයි.

මෙහිදී ශ්‍රී  ලංකාව පළමු තරගය ඔක්තෝබර් මස 16 වැනිදා නැමීබියාව සමඟත්, දෙවැනි තරගය 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟත්, පළමු වටයේ අවසන් තරගය ලෙස ඔක්තෝබර් මස 20 වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමඟත් තරග වැදීමට නියමිතය.

කෙසේ වෙතත්  විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ‘ඒ’ සහ ‘බී’ වශයෙන් කාණ්ඩ 2ක් යටතේ රටවල් 8ක් එක්වීමට නියමිතව ඇති අතර, ‘බී’ කාණ්ඩය යටතේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇත.

මෙහිදී සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් සහ ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා රටවල් 2 සුපිරි 12 වටයේ දී තරග වැදීම සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

සුපිරි 12 තරග වටය සඳහා ඕස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ.