සමාජ මාධ්‍යවලින් මන්ත්‍රින්ට කරන තර්ජන ගැන සොයන්න

0
49

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ පළවන දැන්වීම් පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස කථානායකවරයා ඊයේ පොලිස්පතිවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව කථානායකවරයා එම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව 2022/07/19 වැනි දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා නාම යෝජනා ලබාගැනීමටත් ජූලි 20 වැනි දින ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්වීමටත් ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුව කටයුතු සංවිධානය කර ඇති බවය.

එම පනතේ 20 වැනි වගන්තිය සහ පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) විධිවිධාන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට කුමන ආකාරයෙන් හෝ අයථා බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද කථානායකවරයා විසින් පොලිස්පතිවරයා ලෙස කරන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිලි ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මේ වනවිටත් යොමුකර තිබේ.

අදාළ විමර්ශනය සම්බන්ධ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මඟින් ඊයේ (18දා) කරුණු වාර්තා කිරීමටද කටයුතු කෙරිණි.

මේ අතර  මේ සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් සිදුකෙරෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තර්ජනය කරමින් දැන්වීම් සකසන්නන්, පළ කරන්නන්, හුවමාරු කරන්නන් සහ එවැනි සමාජ මාධ්‍ය ජාලා ගිණුම් පරිපාලකවරුන් සියලු දෙනා සම්බන්ධ සොයා බැලෙන අතර ඔවුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කීර්ති මෙන්ඩිස්