ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන වසරේ සිට තවත් කාර්යබහුල වෙයි

0
10

ජාත්‍යන්තර ක්‍රිකට් කවුනසිලයේ ඉදිරි පස් වසර සඳහා වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි නිල කාලසටහන සකස් කිරීම මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙහිදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (මාස දෙකකට අධික කාලයක විවේකයක් ලැබෙන පරිදි), ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය වැනි තරගාවලි සඳහා කාලය ලබා දීම අරමුණු කරගනිමින් මෙම තරග කාලසටහන සකසා තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

කෙසේ වෙතත් මෙම තරග කාලසටහනට අනුකූලව 2023-25 කාලසීමාව තුළ ශ්‍රී  ලංකා කණ්ඩායම මෙරටදී නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟින් තරග වැදීමට නියමිතව ඇත. එමෙන්ම ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළව  2023-25 කාලසීමාව තුළ එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය රටවල ශ්‍රී  ලංකාව තරග සංචාරයන්හි නිරත වීමට නියමිතව තිබේ. එපමණක් නොව 2025-27 කාලසීමාවේදී ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී  ලංකා කණ්ඩායම නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය යන රටවල තරග සංචාරයන් සඳහා එක්වීමට නියමිතව ඇති අතර 2026 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන්හිදී ශ්‍රී  ලංකා පිල පාකිස්තානය සහ තවත් රටක සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගි වීමට නියමිතව ඇති බවද සඳහන්ය.

එළැඹෙන 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය වෙනුවෙන් වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කාලසටහනෙහි අවසන් අදියර එළැඹෙන 25 සහ 26 යන දිනයන්හිදී එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. වාර්ෂික රැස්වීමේදී සකස් කිරීමට නියමිතව ඇත.

සටහන – ගමිත දෙහිපිටිය