ශ්‍රී ලංකාව තරගයේ පාලනය අතට ගනී

0
40

ශ්‍රී  ලංකාව හා සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිම පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයේදී (18දා) තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පිල මේ වනවිට පාකිස්තාන පළමු ඉනිමට වඩා එක් කඩුල්ලක් අතැතිව ලකුණු 333ක් ඉදිරියෙන් සිටීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

පෙරේදා දිනයේදී එක් කඩුල්ලක ලකුණු 36ක් ලබා සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක්වෙද්දී පෙරදින සැ¼දෑ ආරක්‍ෂකයා ලෙස පිටියට පැමිණි කසුන් රාජිත ලකුණු 7ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවාස් සමත්විය. එහෙත් ඉන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දුට එකතු වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 132 දක්වා රැගෙන ආවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක අගනා වටිනා සබඳතාවක්ද එක්කරමිනි.

කෙසේ වෙතත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ලබා සිටියදී යසීර් ෂාගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ගේ අතට උඩපන්දුවක් ලබාදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 132ක් ලෙස දැක්විණි. පන්දු 125ක් පුරා විහිදුනු ඕෂධගේ ඉනිමට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක්ද එල්ල වී තිබූ අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකයද විය.

එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 32ක් එකතු වෙද්දී එනම් ලකුණු 164දී ලකුණු 9ක් ලබා සිටි ඇන්ජිලෝ මැතිව්ස් ක්‍රීඩාගාරයට හරවා යැවූ නවාස් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් එල්ල කළේය.  ඉන් අනතුරුව පන්දු 126කට මුහුණ දී හතරේ පහර 9ක්ද සමඟින් ලකුණු 76ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්, යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට ලකුණු 300ක් කරා පහසුවෙන්ම යාහැකිව තිබු ගමන අඩාල වන සෙයක් දක්නට ලැබිණි.

කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමමින් සිටියදී යසීර් ෂාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් සිල්වා ලකුණු 20කට දැවී යන විට දෙදෙනා අතර 6වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක්ද එක්ව තිබිණි.  ශ්‍රී ලංකා ලකුණු ප්‍රමාණය 235ක් ලෙස සටහන් වෙද්දී නිරෝෂන් දික්වැල්ලට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් නවාස් ලකුණු 12ක් ලබා සිටි කලබලකාරී දික්වැල්ල ක්‍රීඩාගාරයේ ඔහුට හිමි ආසනය වෙත ඉක්මනින්ම හරවා යැව්වේය.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු තරගාවලියේදී මෙන්ම මෙම තරගයේදී පළමු ඉනිමේදී හුදෙකලා වූ දිනේෂ් චන්දිමාල්ට එකතු වූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 267 දක්වා රැගෙන ආවේය. එම අවස්ථාවේදී ලකුණු වේගය වැඩි කිරීමකට ගත් උත්සාහයකදී නවාස්ගේ පස්වැනි කඩුල්ල ලෙස රමේෂ් ලකුණු 22කට දැවී යනවිට ඔවුන් දෙදෙනා අතර අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවක්ද එක්ව තිබිණි.

මෙවරද එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් හුදෙකලා ඉනිමක නිරත වූ චන්දිමාල් පන්දු 121කදී හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක්ද සමඟින් නොදැවී ලකුණු 86ක් ලබාගත්තේය. ලකුණු 88කට කඩුලු 5ක් දවාගත් මොහොමඩ් නවාස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අසරණ කළ ප්‍රධානතම පන්දු යවන්නා බවට පත්විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 222කට සීමා කිරීමට අෆ්රිඩි ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නන් සමත්වූ අතර, එහිදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ලකුණු 76ක් ලබාගත්තේය.

එයට පිළිතුරු සැපයූ පාකිස්තාන පළමු ඉනිමද ලකුණු 218කට සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි. එක් අවස්ථාවක පාකිස්තානයේ කඩුලු 9ක් ලකුණු 148කට දැවී ගොස් තිබියදී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් එක්කිරීමට පාකිස්තානු නායක බාබර් අසාම් සහ නෂීම් ෂා සමත් වී තිබිණි. පාකිස්තාන ඉනිමේ එක් අන්තයක් සුරක්‍ෂිතව ආරක්‍ෂා කරගත් පාකිස්තානු නායකයා සිය ටෙස්ට් දිවියේ 7 වැනි ශතකය (119) සම්පූර්ණ කරගත්තේය.  ලකුණු 82කට කඩුලු 5ක් ලබාගත් ප්‍රභාත් ජයසූරිය පාකිස්තානු පළමු ඉනිම විනාශ කිරීමට ප්‍රධාන දායකත්වය සැපයීය. අද තරගයේ සිවුවැනි දිනයයි.

මේ අතර ශ්‍රී ලංකා හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මෙයට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද එම තරගය ගාල්ල පිටියේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.  

විචිත්‍ර වීරසිංහ _ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිට.