වෛද්‍ය සිසුවකු ලෙස රඟපෑ අවුරුදු 17ක තරුණියක් 16 හැවිරිදි යුවතියකගේ රන් බඩු හා මුදල්වලට විදලා

0
19

වට්ස්ඇප් කණ්ඩායමක් ඔස්සේ වෛද්‍ය ශිෂ්‍යයකු සේ පෙනී සිටිමින් 16 හැවිරිදි සිසුවියක හා පෙම් සබඳතාවක් අරඹා රන් ආභරණ හා මුදල් වංචා කළ මාතර පිටබැද්දර පදිංචි 17 හැවිරිදි තරුණියක් පිටබැද්දර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෑතකදී පාසල හැරගොස් ඇති සැකකාර තරුණිය දන්නා හඳුනන මිතුරු මිතුරියන් එක්කර නිර්මාණය කළ වට්ස්ඇප් කණ්ඩායමට එක්කරගත් 16 හැවිරිදි සිසුවියක මෙසේ රැවටීමට ලක්කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු ලෙස පෙනී සිටි මෙම සැකකාර තරුණිය සිසුවිය සමඟ පණිවුඩ හුවමාරු කරමින් ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තිබූ අතර මුහුණු පොතෙන් ලබාගත් වෙනත් අයකුගේ ඡායාරූපයක් මෙම සිසුවියට යවා එය වෛද්‍ය පීඨයේ සිසුවාගේ ඡායාරූපයක් ලෙසට හ¾දුන්වාදී තිබී ඇත.

වෛද්‍ය පීඨ සිසුවකු නිසා සිසුවිය මෙම ප්‍රේම සම්බන්ධය සිය මවුපියන් වෙතද සැලකර තිබූ අතර ඔවුන්ගේ ආශීර්වාදයද හිමිවී තිබී ඇත්තේ අනාගතයේදී එම තරුණයා වෛද්‍යවරයකු වීමට නියමිත බැවිනි.

පසුගියදා මෙම සැකකාර තරුණිය මෙම සිසුවියට වට්ස්ඇප් මඟින් පණිවුඩයක් යවමින්, තමන්ට අසනීප තත්ත්වයක් මත හදිසි  සැත්කමක් කිරීමට අවශ්‍යව ඇති බැවින් මුදල් අවශ්‍යතාවක් ඇතැයි පවසා තිබිණි.  සිසුවියද මවුපියන් වෙත මෙම කරුණු සැලකරමින් රන් මාල 02ක් සහ රන් මුදුවක් සමඟ මුදලින් රුපියල් 27,000ක්ද තරුණිය වෙත ලබාදී ඇත.

එක් රන් මාලයක් ඇය හ¾දුනන අකුරැස්සේ තරුණයකු ලවා ස්ථානයකට උකස් කර ඇති අතර අනෙක් මාලය සහ මුද්ද පිටබැද්දර ප්‍රදේශයේ ස්ථානයකට උකස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙපමණ මුදලක් ලබාදී තිබුණත් තම ප්‍රේමවන්ත වෛද්‍ය පීඨ සිසුවා තමන් සමඟ වචනයක් හෝ කතා නොකරන්නේ මන්දැයි සැක සිතූ සිසුවිය සිය මවුපියන්ද කැටුව පිටබැද්දර පොලිසිය වෙත පැමිණ පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග හමුවේ සියල්ල විස්තර කළාය. 

ඇය විසින් හෙළිදරව් කරන ලද සියලු තොරතුරු පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා වංචනික ලෙස මුදල් ඉපැයූ වට්ස් ඇප් කණ්ඩායම මෙහෙය වූ තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට පත්වූ සැකකාරිය සියලු තොරතුරු හෙළිකර සිටි අතර වට්ස් ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් මුදල් වංචා කිරීම පිළිබඳව සියලු කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වූ අතර ඇය විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථන දෙකද අත්අඩංගුවට ගැනිණි. උකසට තබා තිබූ රන්මාල 02 සහ රන් මුදුවද අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

මෙම සැකකාරිය අකුරැස්ස, කඹුරුපිටිය, මාතර, තෙලිජ්ජවිල යන ප්‍රදේශවල තරුණ තරුණියන් කිහිප දෙනකුගෙන්ම මෙලෙස වංචනිකව මුදල් රැගෙන ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳව පොලිසිය මඟින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සැකකාරිය 16 වැනි දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ජූලි 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. රන් මාලය උකස් කිරීමට සහාය දුන් අකුරැස්සේ තරුණයාද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවති.    

අතුරලිය – එස්. විජිත