වැස්ස එක්ක හිස ඔසවන ‘ඩෙංගු’

0
15

දැනට ලංකාවේ වාර්තාවන මදුරුවන්ගෙන් බෝවන රෝග අතර ප්‍රධානතම රෝගය වන්නේ ඩෙංගු රෝගයයි. ලොව පුරා මෙන්ම ලංකාවේද ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යයි. එසේම වසරකට දහස් ගණනක් මෙම රෝගයෙන් පීඩා විඳිති. 2022 වසරේ මුල් මාස 6 තුළ පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බව වාර්තාවල දක්වා තිබේ මෙලෙස ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගයේ අවදානම ඒ සඳහා කළ යුතු පරීක්ෂණ, ආහාර පාන ආදී කරුණු සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සචිත් මෙත්තානන්ද මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.

මේ දිනවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. මේ සඳහා බලපාන හේතු මොනවාද?

ඩෙංගු රෝගය වසංගත ආකාරයෙන් පැතිර යෑමේ ප්‍රවණතාවක් තමයි බොහෝ වෙලාවට අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේක හැම වසරකම සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් වසර තුන හතරකට වරක් තමා සිදුවන්නේ. මේ වසරේ විතරක් නෙවෙයි මොන වසරක වුණත් ජුනි, ජූලි මාසවල ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය බහුලව සිදුවෙනවා. ඒකට හේතුව තමා අපි දන්නවා ඩෙංගු රෝගය බෝවෙන්නේ මදුරුවකුගෙන්. ඒ ඩෙංගු මදුරුවා බිත්තර දමන්නේ පිරිසුදු වතුර එකතුවන කුඩා දිය කඩක, ගහක කොළයක් වැටිලා ඒකට වතුර එකතු වී තිබෙන තැනක  සමහර වෙලාවට මදුරුව බිත්තර දාන්න පුළුවන්.

එතකොට අපි දන්නවා නිරිතදිග මෝසමත් සමඟ බස්නාහිර, දකුණ, වයඹ පළාත්වලට වැසි ලැබිලා පායන තත්ත්වයක් එන්නේ ජුනි, ජූලි මාසවලයි. වැස්සත් සමඟ එකතු වුණ වතුරවල ඩෙංගු මදුරුවන් බෝවෙන්න පුළුවන්. ඩෙංගු මදුරු ව්‍යාප්තිය බහුල වෙන්න පුළුවන්. මොන වසර ගත්තත් ජුනි, ජූලි මාසවල සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය බහුලයි. නමුත් මේ වසරේ ඒක වෙන වසරවලට වඩා වැඩිවීමක් දක්නට ලැබෙනවා. වසර තුන හතරකට වරක් අපි මේ සංසිද්ධිය අත්විඳිනවා.

පළාත් වශයෙන් ගත්තාම වැඩියෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර  පළාතෙන්.

මේ දිනවල ඩෙංගු රෝගය වගේම වයිරස් උණ රෝගයක් සමාජයේ පැතිර යනවා. මේවා අතරින් ඩෙංගු රෝගය හ¾දුනා ගන්නේ කොහොමද?

වයිරස් උණ කිව්වාම අපි දන්නවා ඉන්ෆුලුවෙන්සා කියන්නෙත් වයිරස් උණක්. මේ දිනවල ඉන්ෆුලුවෙන්සා වයිරසයත් පැතිර යනවා. ඉන්ෆුලුවෙන්සා වයිරසයෙත් ප්‍රභේද කිහිපයක් තිබෙනවා. ඉන්ෆුලුවෙන්සා ඒ, ඉන්ෆුලුවෙන්සා බී, වගේ ප්‍රභේද තිබෙනවා. ඒවගේම කොරෝනා කියන්නෙත් වයිරසයක්. මේ වනවිට කොවිඩ් අවදානම ක්‍රමයෙන්  අඩුවෙමින් යනවා. මේ අපි දන්න කියන වයිරස් කිහිපයක්. අපි නොදන්න වයිරස කෝටි ප්‍රකෝටි ගණනක් තියෙනවා. ඒවායෙන් සාමාන්‍ය වයිරස් උණක් ඕනෑම කෙනකුට හැදෙන්න පුළුවන්. වෙන්කර ගැනීමේදී සාමාන්‍ය වයිරස් උණක් දින තුනකින් සාමාන්‍ය අතට හැරෙනවා. දින තුනකට වඩා බලපවත්වන්නේ නැහැ. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගයට සැක පහළ කරගැනීම කොහොමත් වැදගත්.

ඩෙංගු වයිරස් ආසාදිතයකු පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?

ඩෙංගු රක්තපාත උණ තත්ත්වයට පත්වෙනවා නම් රුධිරයේ පට්ටිකා විශාල වශයෙන් අඩු වීම නිසා සමේ ලේ යෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර ප්ලස්මාව ඉවතට යෑම නිසා රුධිර පීඩනය අඩු වෙනවා. එතකොට ක්ලාන්ත ගතිය වගේ දේවල් ඇති වෙන්න හැකියාව තියෙනවා.

ඩෙංගු පරීක්ෂණ පිළිබඳව බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ. ඩෙංගු පරීක්ෂණ කරගත යුතු  පිළිවෙළ කුමක්ද?

ඩෙංගු රෝගය කියා නිශ්චිතවම හඳුනාගත හැකි බහුලවම භාවිත කරන ක්‍රමයට අපි කියන්නේ ඩෙංගු NS1 ඇන්ටිජන් පරීක්ෂණය කියලා. ඒ කියන්නේ ප්‍රතිදේහජනක පරීක්ෂණයක්. නමුත් වැදගත්ම කාරණයක් වන්නේ මේක 100 ක්ම නිවැරදි නැහැ. මේකෙදී අපි කියන්නේ ඩෙංගු රෝගය හඳුනා ගැනීමේ හැකියාව 70ත් 90ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඩෙංගු රෝගීන් කිහිප දෙනකුගේ වුණත් මේ පරීක්ෂණය නෙගටිව් වීමේ හැකියාව තියෙනවා. නමුත් මේ NS1 පරීක්ෂණය පොසිටිව් වුණොත් ඩෙංගු රෝගය වීමේ හැකියාව 100ක් තියෙනවා.

මේ රුධිර පරීක්ෂණයක් කරගෙන ඉතා කෙටි කාලයකින් පැයක් ඇතුළත වගේ එහි ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේ පරීක්ෂණයට පැයක් ගතවන්නේ නැහැ. බොහෝ වෙලාවට මේ පරීක්ෂණය කළ යුත්තේ  උණ පටන් අරගෙන පැය 24ක් වගේ කාලයක් ඇතුළත. සාමාන්‍යයෙන් අපි කියනවා හොඳම කාලය උණ පටන්ගෙන පැය 12ත් පැය 72ත් අතර කාලය තමයි මේ පරීක්ෂණයට සුදුසු කියලා. දින තුනක් පසු වුණාට පස්සේ පරීක්ෂණය නෙගටිව් වීමේ හැකියාව වැඩියි. ගොඩක් කලින් කළත් නෙගටිව් වීමේ හැකියාව තියෙනවා. අඩුම ගානේ පැය 12ක් ගියාට පස්සේ තමයි කරන්න ඕනේ.

ඩෙංගු රෝගියෙක් ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රමාද වීමේ අවදානම පැහැදිලි කළහොත්?

ඩෙංගු රෝගය කියලා හඳුනා ගත්තොත් බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කරන්නේ නැහැ. බොහෝ වෙලාවට ඩෙංගු කියලා හඳුන ගන්න තමයි ප්‍රමාද වෙන්නේ. රටේ තියෙන විවිධ ව්‍යාකූලතා, ප්‍රවාහනයේ දුෂ්කරතා සමඟ සමහරක් දෙනෙක් නිවෙසට වෙලා  බලාගෙන ඉන්න අවස්ථා අපි දැකලා තියෙනවා. ප්‍රධානම දේ තමයි දින තුනෙන් එහාට උණ තියෙනවා නම් රුධිර පරීක්ෂණයක් කර ගැනීමේ හැකියාව තියෙනවා. කලින් කරලා නැත්නම් ඩෙංගු රෝගියෙක් ලෙස හඳුනාගැනීමෙන් පසුව ඩෙංගු රෝගයේ ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ ගෙදර ඉඳලා සෑහෙන දුරට කරන්න පුළුවන්.

ටෙස්ට් එකක් පොසිටිව් වුණ පලියට ඩෙංගු රෝගියෙක් රෝහල්ගත වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. උණ තත්ත්වය තිබෙනවා නම් වෛද්‍යවරයා දිනපතා හමුවිය යුතුයි. ඒ වගේම දිනකට වරක් දෙවරක් රුධිර පරීක්ෂණය කරලා බලන්න ඕනේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම කොයි වගේද කියලා. එම පරීක්ෂණවලින් රුධිර පට්ටිකා ශීඝ්‍ර වශයෙන් අඩුවීමක් පෙන්නුවොත් අපි ඒ රෝගීන් රෝහල් වෙත ඇතුළත් කරගන්නවා.

ඩෙංගු රක්තපාත තත්ත්වය වඩා භයානක වෙන්නේ කොහොමද?

ඩෙංගු රක්තපාත තත්ත්වයේ තමයි අපේ රුධිර නාළවල තිබිය යුතු ප්ලාස්මාව පිටතට ගමන් කරන්නේ. එය ඉතාම භයානක වෙනවා මොකද රුධිර ප්ලාස්මාව පිටතට ගමන් කළාම රුධිර නාළවලට අවශ්‍ය රුධිර පරිමාව අඩු වෙනවා. එම පරිමාව අඩු වීමෙන් රුධිරයේ පීඩනය පවත්වා ගැනීමේ අපහසුතාවක් එනවා. අපේ රුධිර පීඩනය නිසා තමයි අපේ අවයවවලට අවශ්‍ය රුධිර සපයන්නේ. රුධිරයෙන් තමයි අපට අවශ්‍ය ඔක්සිජන් සමඟ සියලුම අනිකුත් සංඝටක අවශ්‍ය පටකවලට ලැබෙන්නේ. එතකොට ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රුධිර ප්‍රමාණය අඩුවීමෙන් පටකවලට ලැබෙන්න තියෙන ඔක්සිජන් හා අනික් සංඝටක රුධිර ලැබීම දුර්වල වෙනවා.  ප්‍රතිකාර නොගත්තොත් එම අවයව දුර්වල වීමේ හැකියාව අවදානම තියෙනවා.

කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැලඳුණොත් අවදානම  වැඩිද?

ඩෙංගු කුඩා ළමයින්  අතර බහුල රෝගයක්. ඉස්සර නම් ඩෙංගු රෝගය කුඩා ළමයින් අතර තමයි වැඩියෙන්ම තිබුණේ. නමුත් දැන් දැන් වැඩිහිටියන් අතරත් ඩෙංගු රෝගය බහුලව දක්නට ලැබෙනවා. ඩෙංගු රෝගයේ වයිරස් ආකාර 4ක් තියෙනවා. ඒක ඩෙංගු 1,2,3,4 කියලා හඳුන්වනවා. පළමු වරට ඩෙංගු වයිරසය ආසාදනය වුණාම ඒක ඉතාම සුළු උණක් හැටියට තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්නේ නැහැ. දෙවනි වරට ඩෙංගු රෝගයේ වෙනත් වයිරස් කාණ්ඩයක් ආසාදනය වුණොත් අපි හිතමු පළමු වරට ඩෙංගු වයිරස කාණ්ඩයේ ඩෙංගු 1 හැදුණා  කියලා. ආයේ කවදාවත් ඩෙංගු 1 වයිරසය ඒ පුද්ගලයාට ආසාදනය වන්නේ නැහැ. මොකද ඩෙංගු වයිරස් 1 කාණ්ඩයෙන් ඩෙංගුවලට ප්‍රතික්‍රියා දක්වන ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවන නිසා. නමුත් 2, 3, 4 කියන අනිත් කාණ්ඩවලින් හැදුණොත් ඒ කාණ්ඩවලින් ආසාදනයක් ආවොත් ඒ දෙවැනි අවස්ථාවේදී ඩෙංගු රක්තපාත තත්ත්වයට යෑමේ අවදානම තියෙනවා. හතර වතාවක් ඩෙංගු ආසාදනය වීමේ අවස්ථාව අඩුයි. වැඩිහිටියන් වෙනකොට අපි ඇත්තටම ඩෙංගුවලින් ආරක්ෂාවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි කුඩා දරුවන්, පාසල් යන වයසේ දරුවන්  අතර වැඩි වශයෙන් ඩෙංගු රෝගය ආසාදනය වීමක් දක්නට ලැබෙන්නේ.

ඇතැම් පිරිස් නොදැනුවත්ව ඩෙංගු රෝගීන්ට විවිධ ආහාර, දියර වර්ග ලබාදෙනවා. ආහාරපාන ලබාදීමේදී සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?

කිසියම් පුද්ගලයෙක් ඩෙංගු රෝගියෙක් බවට අපි නිර්ණය කළොත් එයාට මුලින්ම දෙන අවවාද තමයි අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න කියන එක. ඒ අවශ්‍ය ප්‍රමාණය කුමක් දැයි කියන එක වෛද්‍යවරයා තීරණය කරනවා. සාමාන්‍ය වැඩිහිටියෙක් ගත්තොත් අපි කියන්නේ පැයකට මිලිලීටර 100ක් ගන්න කියලයි. කුඩා දරුවන්ගේ බර අනුව ඒ ප්‍රමාණය අඩු වැඩි වෙනවා. නමුත් ඒක අපිට එකපාරට කියන්න බැහැ මෙච්චරක් බොන්න කියලා. ඒක තීරණය කරන්නේ බර අනුවයි. ඊළඟට ඩෙංගු රෝගියකුට ඕනෑම දියර වර්ගයක් පානය කරන්න පුළුවන්. නමුත් අපි කියනවා වතුරට වඩා සුප්, ජීවනී වගේ දියර වගේ ලවණ සහිත දියර වගේ හොඳයි කියලා. එහෙම වුණත් ජීවනීම බොන්න ඕනේ කියලා එකක් නැහැ. සුප්, කැඳ වගේ සෑම දියරයක්ම පානය කිරීමේ හැකියාව තියෙනවා. රතු පාට, කළු පාට දේවල් දීමෙන් වැළකිය යුතුයි.

මොකද අපි දන්නවා ඩෙංගු රෝගීන්ගේ එක ලක්ෂණයක් තමා වමනය කියන එක. ඒ වමනයත් සමඟ රතු පාට දෙයක් වමනය කළොත් අපිට එක පාරට ගැටලුවක් මතුවෙනවා. මේක ලේ වමනයක්ද, නැත්නම් රතු පාටට බීපු දෙයක්ද කියලා. ඒක වළක්වා ගන්න තමයි අපි රතු පාට, කළු පාට දේවල් දෙන්න එපා කියන්නේ. කෑම, සාමාන්‍ය කෑම කන්න පුළුවන්. නමුත් ඩෙංගු රෝගයේ කෑම අරුචිය වැඩි වශයෙන් තියෙනවා. කෑම කන්න අමාරුයි. කන්න පිරියක් නැහැ. එතකොට බලෙන් කැවීමේ ලොකු අවශ්‍යතාවක් නැහැ. පිරිය තියෙන ප්‍රමාණයට කන්න පුළුවන් ප්‍රමාණයට කෑවම ඇති.

කනවා නම් ඕන කෑමක් දෙන්න පුළුවන් තහනමක් නැහැ. ඩෙංගු රෝගීන්ට ගුණයි කියන දේවල් අපි දැනුවත් නැහැ. අපි දන්නවා සමහර දෙනෙක් පැපොල් යුෂ පාවිච්චි කරනවා. ඒ වගේ විවිධාකාරයේ දේවල් ඩෙංගු රෝගීන්ට දෙනවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම තහවුරු කරලා නැහැ. ඒ නිසා ඩෙංගු රෝගීන්ට සාමාන්‍ය කෑම බීම කන්න පුළුවන්. කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කිරීමයි.

ඩෙංගු රෝගීන් සහ කොවිඩ් රෝගීන්ගේ රෝග ලක්ෂණ අතර වෙනස්කම් තියෙනවද?

කොවිඩ්  කියන්නෙත් වයිරසයක්. ඒ සියල්ලම වයිරස් රෝග. කොවිඩ්  රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ශ්වසන අපහසුතා. නමුත් උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය කියන දේවල්  කොරෝනා රෝගී තත්ත්වයකදී පෙන්නුම් කරන්න පුළුවන්. මූලික වශයෙන් ඔය දෙක අතර තිබෙන සමානත්වයක් තියෙනවා. නමුත් උග්‍ර අවස්ථාවේ ඒ දෙකේ සමානතා අඩුයි. කොවිඩ්  රෝගයේදී පෙණහලුවලට  තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. කොවිඩ්  රෝගියෙක් මියයන්නේ නියුමෝනියා තත්ත්වයක් පෙණහලු තුළ ඇතිවීම හරහායි. ඩෙංගු රෝගීන් මිය යන්නේ රුධිර ප්ලාස්මා පිටතට යෑම හේතුවෙන් රුධිර පීඩනය අඩු වීම නිසයි.

වර්තමානයේ රටේ පවතින ඔෟෂධ හිඟයත් සමඟ මේ දිනවල රෝහල්වල ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඔෟෂධවල හිඟයක්  තිබෙනවාද?

සියලුම ඔෟෂධවල හිඟයක් රටේ තියෙනවා. ඒකේ අපිට හංගන්න දෙයක් නැහැ. වෛද්‍යවරුන් ඉතාම දුෂ්කර විදිහට තමයි සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. නමුත් වෛද්‍ය විද්‍යාව ඇතුළේ කිසියම් ඔෟෂධයක හිඟයක් පවතිනවා නම් ඒ ඔෟෂධය වෙනුවට වෙනත් ආදේශකයක් භාවිත කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට තියෙනවා. ඒ තත්ත්වය තමා දැනට තියෙන්නේ. යම් යම් දේවල්වල අඩු පාඩු තියෙනවා. ඒ දේවල් මඟහරවාගෙන අපේ දැනුම භාවිත කරගෙන ඒ දේ වෙනුවට වෙනත් දෙයක් භාවිත කරලා රෝගී ජීවිත බේරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දක්වා ඩෙංගු රෝගී ජීවිත නැති වීමට තරම් ඔෟෂධ හිඟයක් තවම  පෙන්නලා නැහැ ඩෙංගු රෝගීන්ට අවශ්‍ය ඩෙක්ස්ට්‍රැන් (Dextren) කියන ඔෟෂධයේ හිඟතාවක් කලිනුත් තිබුණා. දැනුත් තියෙනවා. අනාගතයේදී ඒක තව උග්‍ර වෙයි කියලා අපිට හැඟෙනවා.

ඩෙංගු මර්දන සඳහා මොනවගේ වැඩපිළිවෙළක් අවශ්‍යද?

ඩෙංගු වයිරස ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් වගකීම පැවරිලා තියෙන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයට. ජාතික ඩෙංගු මර්දන ඒකකයට. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට. නමුත් වෛද්‍යවරයකුට, ඒකකයකට, අංශයකට මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රජාව විසින්ම කළයුතු දෙයක්. කොහොම වෙතත් මේක වළක්වා ගැනීම ඉතාම අසීරුයි කියන එකයි මගේ පෞද්ගලික මතය. මොකද ඩෙංගු මදුරුවාගේ වාසස්ථාන විනාශ කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. මොකද අපි දන්නවා ගහක කොළයක් වැටිලා ඒකේ වතුර රැඳිලා මදුරුවන් බෝවෙන්න පුළුවන්.

ලංකාවේ තියෙන සියලුම ගස් වර්ග, ශාක වර්ග විනාශ කරන එක නෙවෙයි මේකට පිළියම. හැකි පමණ අවම කරන එක තමයි අපට කරන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාත්මකව ඩෙංගු මදුරුවාට එරෙහිව ක්‍රියා කරන බැක්ටීරියා වගේ ක්‍රම භාවිත කළොත් සමහර විට 100 වළක්වා ගන්න පුළුවන් වෙයි. දැනට වුණත් ඩෙංගු මදුරුවන්ගේ වාසස්ථාන විනාශ කිරීම තුළින් මේක 100ක්ම මේක වළක්වා ගන්න පුළුවන් කියන එක නෙවෙයි මගේ පෞද්ගලික මතය. නම් මම හිතන්නේ නැහැ මේ ලෝකේ කිසිම රටක් පරිසර විද්‍යාත්මක ක්‍රමවලින් ඩෙංගු රෝගය හෝ මදුරුවන් මර්දන කරලා ඇති කියලා. ඒක ජීවවිද්‍යාත්මකව කරන්න අමාරු දෙයක්.