ව්‍යාජ වල් නාශක ගොවීන්ට විකුණමින් සිටි තිදෙනෙක් අරලගංවිලදී දැලේ

0
8

සබන් කුඩු, ගම් වර්ග හා ෂැම්පු වර්ග එකතු කර ව්‍යාජ වල්නාශක නිෂ්පාදනය කර අලෙවි කරමින් සිටි තිදෙනකු ඊයේ (18දා) පෙරවරුවේ අරලගංවිල නගරයේදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

අරලගංවිල පොලිසියට ගොවීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.පී. වසන්ත ප්‍රේමලාල් පැවැසීය.

සැකකරුවන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ප්‍රදේශයේ සහ මල්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 සහ 28 වයසේ පසුවන්නන් බවද විවිධ රසායනික කුඩු සහ ගම් වර්ග, සබන් කුඩු හා ෂැම්පු වර්ග කවලම් කරමින් මෙම ව්‍යාජ වල්නාශක සැකකරුවන් විසින් නිෂ්පාදනය කර පළාතේ ගොවීන්ට බෙදා හැර ඇති බවට පොලිසිය කරන  ලද පරීක්ෂණ තුළින් අනාවරණය වී ඇත.

පොළොන්නරුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි ශානක ද සිල්වාගේ උපදෙස් මත අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18දා) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අරලගංවිල පොලිසිය පවසයි.

මනම්පිටිය – නිමල් ජයරත්න